Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the vibenews domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /mnt/data/vhosts/casite-1452642.cloudaccess.net/httpdocs/wp-includes/functions.php on line 6121
ළමුන් ඇතුළු 60කට මරු කැඳවූ “බිහිසුණු” මොස්කව් වෙඩි ප්‍රහාරයේ මෙතෙක් හෙළිවූ කරුණු – Rights.LK
පුවත්

ළමුන් ඇතුළු 60කට මරු කැඳවූ “බිහිසුණු” මොස්කව් වෙඩි ප්‍රහාරයේ මෙතෙක් හෙළිවූ කරුණු

ළමුන් ඇතුළු 60කට මරු කැඳවූ “බිහිසුණු” මොස්කව් වෙඩි ප්‍රහාරයේ මෙතෙක් හෙළිවූ කරුණු
  • PublishedMarch 25, 2024

මොස්කව් නගරයේ මායිම් ප්‍රදේශයක පිහිටි ප්‍රසංග ශාලාවකට තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් තවත් 100 දෙනෙකු තුවාල ලබා ඇති බව රුසියානු ආරක්ෂක අංශ පවසයි.

හමුදා ඇඳුමින් සැරසුණු ප්‍රහාරකයින් අවම වශයෙන් සිව් දෙනෙකු වයඹ දිග පිහිටි ක්‍රැස්නොගෝස්ක් නගරයේදී ප්‍රහාරය එල්ල කළ බව බීබීසී පුවත් සේවය විසින් සත්‍යාපනය කරන ලද වීඩියෝ දර්ශනවලින් පෙනී යයි.

තුවක්කුකරුවන් ක්‍රොකස් නගර ශාලාවේ ප්‍රවේශ දොරටුවෙන් ඇතුළු වී රංග ශාලාවට කඩා වදින අවස්ථාවේ එහි සංගීත සංදර්ශනයක් පැවැත්වීමට සූදානම් කර තිබිණි.

එම ගොඩනැගිල්ලේ වැඩි කොටසක් ගිනිබත් වූ අතර වහලයෙන් කොටස් ද කඩා වැටිණි.

ජීවිතක්ෂයට පත්වූවන් අතර ළමුන් ද සිටින බවට වාර්තා වන අතර, එය “ත්‍රස්ත ප්‍රහාරයක්” ලෙස රුසියානු විදේශ අමාත්‍යංශය හෙළා දැක තිබේ.

ඉන්ටර්නෙට්හි තහවුරු නොකරන ලද ප්‍රකාශයක දැක්වෙන පරිදි, IS සටන්කාමි කණ්ඩායම පවසා ඇත්තේ, ප්‍රහාරය පසුපස තමන් සිටින බව ය.

බීබීසී පුවත් සේවයේ ඇමෙරිකාවේ හවුල්කාර පුවත් සේවාව වන CBS පුවත් සේවයට ඇමෙරිකානු නිලධාරීන් පැවසුවේ, රුසියාවට ප්‍රහාරයක් එල්ල කිරීමට IS සංවිධානයට අවශ්‍යතාවක් පැවති බවට ඔවුන්ට බුද්ධි තොරතුරු ලැබී තිබුණු බව ය.

රුසියාවේ National Guard නමැති අභ්‍යන්ත ආරක්ෂක සේවාව පැවසුවේ, ප්‍රහාරකයින් අල්ලා ගැනීම සඳහා ප්‍රහාරය සිද්ධ වූ ස්ථානයේ සෝදිසි මෙහෙයුම් වෙනුවෙන් විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බව ය. රුසියාවේ ඉහළ නිලධාරීහු ද ක්‍රැසොනොගෝස්ක් වෙත ළඟා වෙමින් සිටිති.

වීඩියෝ ශීර්ෂ වැකිය,තුවක්කුකරුවන් මොස්කව් ප්‍රසංග ශාලාවට ඇතුළු වන විට මිනිසුන් සැඟවීමට තැත්කළ අයුරු

සති දෙකකට පෙර, ඇමෙරිකානු තානාපති කාර්යාලය එරට පුරවැසියන්ට විශාල රැස්වීම්වලට සහභාගි වීමෙන් වළකින ලෙස අනතුරු ඇඟවීමක් කළේ, “මොස්කව්හි විශාල රැස්වීම් ඉලක්ක කිරීමට අන්තවාදීන්ගේ සැලසුම් ඇති” බවට නිකුත් කර ඇති වාර්තා අධීක්‍ෂණය කරන බව පවසමිනි. සිකුරාදා දිනයේ එම මාර්ගෝපදේශ යාවත්කාලීන කරමින් ඇමෙරිකානු වැසියන්ට දැනුම් දුන්නේ, ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශයෙන් ඉවත්ව සිටින ලෙස ය.

Picnic නමැති රොක් සංගීත කණ්ඩායම පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගයක් සඳහා 6,000කට අධික රුසියානුවන් පිරිසක් ක්‍රොකස් නගර ශාලාවේ ප්‍රසංග සංකීර්ණයට පැමිණ සිටියහ. සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු ප්‍රකාශ කළේ,සංගීත කණ්ඩායම වේදිකාව මතට පැමිණීමට ආසන්න මොහොතක මෙම ප්‍රහාරය එල්ල වූ බව ය. සංගීත කණ්ඩායමේ සාමාජිකයින්ට ඉන් හානියක් සිදුවී නොමැත.

වීඩියෝ ශීර්ෂ වැකිය,ප්‍රසංග ශාලාවේ ලොබියේ තුවක්කුකරුවන් සිටින අයුරු වීඩියෝවේ දැක්වේ

ආරක්ෂක නියාමකයෙකු, ඔහු සහ ඔහුගේ සගයන් ප්‍රධාන ප්‍රවේශ දොරටුවේ රාජකාරි කරමින් සිටියදී ආයුධ සන්නද්ධ ප්‍රහාරකයින් වෙඩි ප්‍රහාර එල්ල කරමින් ආලින්දයට කඩා වැදුණු ආකාරය පැහැදිලි කළේ ය.

“තව ආරක්ෂක නියාමකයින් තුන් දෙනෙක් හිටියා. ඔවුන් දැන්වීම් පුවරුවක් පිටිපස්සේ හැංගුණා,” රුසියානු ටෙලිග්‍රෑම් පුවත් සේවාවක් වන Baza වෙත ඔහු පවසා තිබිණි. “ඒ ප්‍රහාරකයෝ අපිව පහු කරලා මීටර් 10ක් විතර ඉස්සරහට ගිහින් පහළ මාලයේ හිටපු අයට හතර වටේ වෙඩි තියන්න ගත්තා.”

ශ්‍රවණාගාරය තුළදී කාන්තාවක පැවසුවේ, වෙඩි ප්‍රහාර එල්ල වන බව දැනගත් වහා ම තමන් සහ අනෙක් අමුත්තන් වේදිකාව දෙසට වේගයෙන් දිව ගිය බව ය. “මම දැක්කා පැති අවියක් සහිත පුද්ගලයෙක් වෙඩි ප්‍රහාර එල්ල කරමින් හිටිය හැටි. මම ලවුඩ් ස්පීකර් එකක් පිටිපස්සට බඩගාගෙන යන්න උත්සහ කළා,” ඇය Russian TV වෙත පැවසුවා ය.

ගින්න සහ දුම් රොටු අහසට නැඟුණු අතර ගොඩනැගිල්ලේ ඉහළ මහල් දෙකෙහි වීදුරු පිපිරෙමින් ශාලාවේ ඉදිරිපස ප්‍රදේශය ගිනිගෙන දැවිණි.

ගින්න හට ගත්තේ, ප්‍රහාරකයින් යම් ගිනි අවුළුවනසුලු පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් එල්ල කිරීමෙන් පසුව බව පෙනී යයි.

විටලි නමැති පුද්ගලයෙකු විස්තර කළේ, තමන් ප්‍රසංග ශාලාවේ බැල්කනි කලාපයේ සිටින අවස්ථාවේදී ප්‍රහාරකයින් වෙඩි තැබීම ආරම්භ කළ බව ය. “ඔවුන් පෙට්‍රල් බෝම්බ කිහිපයක් එල්ල කළා. ඔක්කොම ගිනි ගන්න පටන් ගත්තෙ ඊට පස්සේ. අපව ඊට පස්සේ ශාලාවෙන් ඉවතට යැව්වා.”

තවත් ඇසින් දුටුවෙකු පැවසුවේ, ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ළමුන් සහ යොවුන් වියේ පසුවන පිරිසක් බෝල්රූම් නර්තන තරගකයට සහභාගි වී සිටි බව ය.

ප්‍රසංග ශාලාවේ සිටි පුද්ගලයින්ගෙන් ඇතැමෙකු වේදිකාව මතින් දිවගොස් රථ ගාල දෙසට පළා යාමට සමත්ව තිබූ අතර, සෙසු පිරිස වහලය දෙසට දිව ගොස් තිබිණි. රුසියානු බලධාරීන් පැවසුවේ, තවත් 100 දෙනෙකු පමණ භූගත මහලට දිවගොස් දිවි බේරාගෙන තිබුණු බව ය.

ප්‍රහාරය එල්ල වීමෙන් සුළු මොහොතකට පසු, ගිලන් රථ සහ සේවකයින් වහා ම ක්‍රැස්නොගෝස්ක් නගර ශාලාව ඉදිරිපිටට යවන ලදී.

රුසියානු බලධාරීන් පැවසුවේ, තවත් 100 දෙනෙකු පමණ භූගත මහලට දිවගොස් දිවි බේරාගෙන තිබුණු බව ය.
ඡායාරූප ශීර්ෂ වැකිය,රුසියානු බලධාරීන් පැවසුවේ, තවත් 100 දෙනෙකු පමණ භූගත මහලට දිවගොස් දිවි බේරාගෙන තිබුණු බව ය.

සතිඅන්තයේ අගනුවර පැවැත්වීමට නියමිතව තිබූ සියලු මහජනතාව එක්රැස් වන වැඩසටහන් අවලංගු කිරීමට මොස්කව් නගරාධිපති සර්ගෙයි සොබ්යනින් පියවර ගෙන තිබිණි. “ප්‍රහාරයේ වින්දිතයින්ගේ ආදරණීයයන් ගැන මට කනගාටුයි,” ඔහු පැවසීය.

ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු, රුසියාවේ දෙවන විශාලතම නගරය වන සෙන්ට් පීටර්ස්බර්ග් ඇතුළු ප්‍රදේශ කිහිපයක ද, වැඩසටහන් අවලංගු කෙරිණි.

මෙය “බිහිසුණු අපරාධයක්” බව පවසමින් රුසියානු විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාරියා සකරෝවා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ, මෙම සිද්ධිය හෙළා දකින ලෙස ය.

රුසියාව සිය අසල්වැසියා වෙත පූර්ණ ආක්‍රමණයක් දියත් කර වසර දෙකකට වැඩි කාලයක් ගතවීමෙන් පසුව ඇති වූ මෙම ප්‍රහාරයට, තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව යුක්රේන රජය වහා නිවේදනය කළේ ය.

“කුමක් සිද්ධ වුණත්, යුක්‍රේනය සියල්ල තීරණය කරන්නේ යුද්ධ බිමේදී විතර යි,” ජනාධිපති උපදේශක මිකායිලෝ පොඩොල්යැක් ටෙලිග්‍රෑම් ඔස්සේ පැවසීය.

ප්‍රහාරය එල්ල වීමට දින 6කට පෙර රුසියානු ජනාධිපතිවරණයෙන් පස් වන වරටත් ජය ගැනීමට ව්ලැඩිමීර් පුටින් සමත් විය. එම ජනාධිපතිවරණයට කිසිදු සැබෑ ප්‍රතිවාදියෙකු ඉදිරිපත් නොවූ අතර, ඡන්ද විමසීම නිදහස් හෝ සාධාරණ නොවූ බවට බටහිර රටවලින් විවේචන එල්ල විය.

යුක්රේන හමුදා බුද්ධි තොරතුරු අංශයේ ප්‍රකාශක ඇන්ඩ්‍රි යුසෝෆ් යෝජනා කර ඇත්තේ, මෙම ප්‍රහාරය කිසිදු සාක්ෂියක් ඉතිරි නොකර “පුටින්ගේ විශේෂ සේවාවන් විසින් හිතාමතා ම සිදු කරන ලද ප්‍රකෝපකාරී ක්‍රියාවක්,” බවට ය.

ගින්න හට ගත්තේ, ප්‍රහාරකයින් යම් ගිනි අවුළුවනසුලු පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් එල්ල කිරීමෙන් පසුව බව පෙනී යයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,ගිනිගෙන දැවෙන ක්‍රෝකස් නගර ශාලාවේ ගින්න නිවීමට උත්සහ දරන ගිනි නිවන භටයෝ

සිකුරාදා රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරය වසර ගණනාවක් තුළ මොස්කව්හි සිවිල් වැසියන් ඉලක්ක කර ගත් දරුණුතම ප්‍රහාරය වූ නමුත්, එය 2002 වසරේදී අගනුවර පිහිටි රඟහලක වටලෑමක මතකයන් නැවත ආවර්ජනය කළේ ය. එහිදී, චෙච්නියා සටන්කාමීන් 40 දෙනෙකු විසින් NordOst නම් සංගීත සංදර්ශනයක් අතරතුර පුද්ගලයින් 900කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගනු ලැබූහ.

රුසියානු ආරක්ෂක අංශ අවසානයේ නිර්වින්දන ගෑස් මුදා හරිමින් රංග ශාලාවට කඩා වැදුණු අතර ප්‍රාණ ඇපකරුවන් 130 දෙනෙකු පමණ එහිදී මිය ගියහ.

මේ වන විට ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථාන ඇතුළු පොදු ස්ථානවල ආරක්ෂාව තර කර තිබේ.

ධවල මන්දිරයේ ප්‍රකාශක ජෝන් කර්බි පැවසුවේ, වෙඩි ප්‍රහාරයේ දර්ශන “බිහිසුණු මෙන් ම නැරඹීමට නොහැකි මට්ටමේ” ඒවා බව ය.

“මේ බිහිසුණු වෙඩි තැබීමේ ප්‍රහාරයට ගොදුරු වූවන් ගැන අපි ගෞරවයෙන් මෙනෙහි කරනවා,” ඔහු පැවසීය.

(BBC සිංහල)