ආගමික පදනම මත පාසල් බෙදා තිබීම ආගමික සහජීවනයට බාධාවක් ද?
ශ්‍රී ලංකාවේ පාසල් විවිධ කරුණු පදනම් කර ගනිමින් විවිධ බෙදීම්වලට ලක් කර තිබේ.
එම බෙදීම්, ආගමික, ජන වාර්ගික, භාෂාමය, භෞතික සම්පත් සහ ස්ත්‍රී පුරුෂභාවය ආදී කරුණු රැසක් මත පදනම්ව පවතී.
බෞද්ධ, ක්‍රිස්තියානි, කතෝලික, මුස්ලිම්, හින්දු ආදී පාසල් වර්ගීකරණය වී ඇත්තේ, ආගම, ජාතිය සහ භාෂාව පදනම් කරගෙන ය.
ඊට අමතරව, භෞතික සම්පත් මත පදනම්ව ජාතික පාසල්, පළාත් සභා පාසල්, මධ්‍ය මහා විද්‍යාල, මහා විද්‍යාල, කනිෂ්ඨ විද්‍යාල ආදී ලෙස බෙදා තිබේ.
ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගෙන පිරිමි සහ කාන්තා ලෙස බෙදා ඇති පාසල් රැසක් ද ශ්‍රී ලංකාව තුළ පවතී.
ආගම්, භාෂා සහ ජාතීන් පදනම් කරගෙන පාසල් බෙදීම
මෙම ලිපියෙහි අරමුණ ශ්‍රී ලංකාවේ පාසල් ආගම් සහ ජාතීන් පදනම් කරගෙන බෙදා වෙන් කර තැබීමෙන් ඇති වන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම ය.
අධ්‍යාපන අමාත්‍යංශය 2021 වසරේදී අවසන් වරට කරන ලද පාසල් සංගණනයේ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාවේ රජයට අයත් පාසල් සංඛ්‍යාව 10,146කි.
ඒ අතරින්, පාසල් 6,909ක් සිංහල පාසල් ලෙසත්, පාසල් 2,297ක් දෙමළ පාසල් ලෙසත්, පාසල් 940ක් මුස්ලිම් පාසල් ලෙසත් වර්ග කර තිබේ.
ඊට අමතරව, සිංහල භාෂාවෙන් ඉගැන්වීම් සිදු කෙරෙන පාසල් සංඛ්‍යාව 6,323ක් වන අතර දෙමළ බසින් පාසල් 3,026ක ඉගැන්වීම් සිදු කෙරේ.
සිංහල හා ඉංග්‍රීසි බසින් ඉගැන්වීම් සිදුකෙරෙන පාසල් සංඛ්‍යාව 552කි. දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පාසල් 170ක ඉගැන්වීම් කෙරේ.
භාෂා තුනෙන් ම ඉගැන්වීම් සිදු කෙරෙන්නේ, පාසල් 35ක පමණි. එම සමස්ත පාසල් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස ගත් කල, 0.3%ක් පමණි.
‘පාසල් බෙදා වෙන් කර තැබීම රටේ ප්‍රශ්න රැසකට හේතුවක්’
ආගමික සහ භාෂාමය පදනම් අනුව පාසල් වෙන් කර පවත්වාගෙන යාම ශ්‍රී ලංකාවේ ජන වාර්ගික ගැටලුවලට ප්‍රධාන හේතුවක් වී ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.
“ජාතීන් වශයෙන්, ආගම් වශයෙන් ඉස්කෝල බෙදලා තිබීම බරපතළ ප්‍රශ්නයක්. ජන අනුපාතය අනුව ගත්තත් දැන් ප්‍රතිශත වෙනස් වෙලා තියෙන්නේ. 1960දී රජයට පාසල් පවර ගත්තා. මේ පවරා ගත් අවස්ථාවේ තිබුණ ජන අනුපාතය අනුව එම පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම කරලා තියෙනවා. උදාහරණයක් විදිහට කොළඹ, ආනන්ද විද්‍යාලයේ ප්‍රතිශතයක් තියෙනවා, බෞද්ධ දරුවො කොච්චර ද? ක්‍රිස්තියානි කොච්චර ද? මුස්ලිම් කොච්චර ද? කියලා. තවත් පාසල් ගණනාවක් තියෙනවා ඒ වගේ ජාතීන් අනුව ඇති කරපු පාසල්. ඒ වගේ පාසල්වල දරුවන් බඳවා ගැනීම තවමත් සිදුවෙන්නේ ඒ අනුව තමයි. නමුත් මේවයේ ජන අනුපාතය දැන් වෙනස්. 1960 වසරේ තිබුණ ජන අනුපාතය නෙවෙයි දැන් තියෙන අනුපාතය. ඒත් අවුරුදු 64කට කලින් තිබුණ ජන අනුපාතය අනුව තමයි තාම පවත්වගෙන යන්නේ.”
යුද්ධය අවසන් වී වසර 15ක් ගත වී ඇතත්, රටේ ජාතීන් අතර සමගිය වර්ධනය වන ආකාරයේ පාසල් පද්ධතියක් නිර්මාණය කිරීමට පාලකයින් අපොහොසත් වී ඇතැයි ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දුන්නේ ය.
ඔහු ප්‍රකාශ කළේ, ඡන්දවලින් ජය ගැනීම සඳහා උපක්‍රමයක් ලෙස ආගම් පාවිච්චි කරන හෙයින් දේශපාලනඥයින් ආගමික සමගියක් ඇති කිරීමට උත්සහ නොකරන බව ය.
“රටේ යුද්ධයක් ඇති වුණා. 2009 යුද්ධය අවසන් වුණාට පස්සේ ජනතාව අතර යම් සහජීවනයක් ඇති කරන්න පුළුවන් තැනක් තමයි, පාසල. ඒකවත් අපට තවමත් කරගෙන යන්න බැරි තත්ත්වයක් තියෙනවා. අඩුගාණෙ 2009 යුද්ධය ඉවර වෙලා අවුරුදු 15කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. නමුත් තවමත් අපට බැරි වෙලා තියෙනවා, ජාතීන් අතර සමගිය ඇති කරන පාසල් පද්ධතියක් නිර්මාණය කර ගන්න. තවමත් උත්සහ කරනවා නම් ආගමික පදනම්වලින් පාසල් ගෙනියන්න, කිසි ම තේරුමක් නෑ. අපට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි, රටේ පාලකයෝ ඡන්දය දිනන්න පාවිච්චි කරන්නේ ආගම. තවදුරටත් මේගොල්ලෝ මේක ම නම් පාවිච්චි කරන්නේ, මේක ලොකු ප්‍රශ්නයක්.”
ආගමික සහජීවනය ඇති කිරීමට සුදුසු ම ස්ථානය පාසල බව ජෝසෆ් ස්ටාලින්ගේ අදහස යි.
“ගොඩක් නිර්දේශ ලැබිලා තියෙනවා, මේ රටේ ජාතික සමගිය ඇති කිරීම, ආගමික සහජීවනය ඇති කිරීම වගේ දේවල් සම්බන්ධයෙන්. ඒ මොන නිර්දේශ තිබුණත් ඒවා ක්‍රියාත්මක කළ යුතු පාලකයෝ ම තමයි තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මේ බෙදීම ඇති කරගෙන යන්නේ. ඉදිරියේදීවත් මේ ක්‍රමය වෙනස් කරලා අලුත් විදිහකට නූතනත්වයෙන් හිතලා මේ ළමයින්ට ආගමික සහ ජාතීන් වශයෙන් පාසලකට ඇතුළත් වෙන්න තියෙන බාධාවන් ඉවත් කළ යුතුයි. මොක ද පාසල තමයි, ආගමික සහ ජාතීන් අතර සහජීවනය ඇති කරන්න සුදුසු ම තැන.”
‘ලෝකයේ කොහේවත් නැති ක්‍රමයක් මේක’ – අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් මහාචාර්ය කපිල පෙරේරා
ශ්‍රී ලංකාවේ පාසල් බෙදා ඇති ආකාරයට තමන් දන්නා පරිදි ලෝකයේ කිසිදු රටක පාසල් බෙදා වෙන් කර නැතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වූ මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළේ ය.
“ආගමික සහ ජාතීන් වශයෙන් පාසල් බෙදා තිබීම ආගමික සහ ජාතික සහජීවනයටත්, සංහිඳියාවටත් ලොකු බාධාවක්. ආගම, භාෂාව, ජන වර්ගය නොතකන සමාජයක් නිර්මාණය කිරීම සඳහා අඩිතාලම දැමිය යුත්තේ පාසල්වලින්. මම මූලික අධ්‍යාපනය ලැබුවේ, බණ්ඩාරගම, වෑවිට මහා විද්‍යාලයෙන්. අටුළුගම පදිංචි මුස්ලිම් පිරිමි සහ ගැහැනු ළමයි ගොඩක් අපේ ඉස්කෝලෙ ඉගෙන ගත්තා. අපි ගොඩක් එකමුතුව හිටියා. ඒ කාලේ මාත් එක්ක එකට හිටිය මුස්ලිම් ළමයි තවමත් මගේ යාළුවෝ. ඒ නිසා මට පුංචි කාලේ ඉඳලා ම වෙනත් ආගම්වලට අයිති අය ගැන කිසි ම කහටක් හිතේ තිබුණෙ නෑ,” මහාචාර්ය කපිල පෙරේරා පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ, ගැහැනු – පිරිමි ලෙස පාසල් වෙන් කර පවත්වාගෙන යාම ද නතර කළ යුතු බව ය.
“මිශ්‍ර පාසල්වල ළමයි එකිනෙකාට ගරු කරන්න ඉගෙන ගන්නවා. කාන්තා පාර්ශවයට සම තැන් හිමි වෙනවා. ලොකු අන්‍යෝන්‍ය අවබෝධයකින් දෙපාර්ශවය දිහා බලනවා. ඒ ළමයි වැඩිහිටියෝ විදිහට සමාජයට එකතු වෙද්දිත් අර එකිනෙකාට ගරු කිරීම තියෙනවා. ඒ නිසා සමාජ ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. ඒ නිසා පාසල් බෙදීම කියන ප්රශ්නයේදී මම ඉන්න ස්ථාවරය තමයි, පාසල්වල තියෙන සියලු බෙදීම් ඉවත් කළ යුතු ම යි කියන එක.”
ශ්‍රී ලංකාවේ බාලක පාසල් 146ක්, බාලිකා පාසල් 240ක් සහ මිශ්‍ර පාසල් 9,760ක් පවතී.
මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ මෙන් තමන් දන්නා කිසිදු රටක පාසල් බෙදා වෙන් කර නොමැති බව ය.
“ඇමෙරිකාව, එංගලන්තය විතරක් නෙවේ මම දැන් සේවය කරන චීනයේ පවා ආගම් මත පදනම් වෙලා, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වෙලා පාසල් බෙදීමක් කරලා නැහැ. මේක අපේ රටේ විතරක් තියෙන ප්‍රශ්නයක්.”
බෙදීම් ඉවත් නොකරන්නේ ඇයි?
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පෙන්වා දෙන පරිදි විවිධ බෙදීම් පවත්වාගෙන යාම දේශපාලනඥයින්ට වාසිසහගත හෙයින් පාසල්වල ඇති බෙදීම් ඉවත් නොකරන බව ඔහු පෙන්වා දෙයි.
මහාචාර්ය කපිල පෙරේරා ඊට බලපාන වෙනස් කරුණු කිහිපයක් පෙන්වා දුන්නේ ය.
“මේ බෙදීම් ඉවත් කරන්න නම් මුලින් ම හැම පාසලකට ම සමාන සම්පත් බෙදී යාමක් අවශ්‍ය යි. සමාන සම්පත් තිබුණොත්, ජනප්‍රිය පාසල්, ජාතික පාසල් කියන සංකල්ප ඇති වෙන්නෙ නෑ. හැම පාසලක ම සමාන පහසුකම් තිබුණා ම තමන්ට පහසු ම පාසලකට යන්න දරුවන්ට අවස්ථාව ලැබෙනවා. එවැනි තත්ත්වයක් තුළ සෑම ආගමක ම දරුවන් සෑම පාසලකට ම මිශ්‍ර කරන්නත් පුළුවන්. ඒ හරහා ආගමික සහ ජන වාර්ගික සංහිඳියාවක් නිර්මාණය කර ගන්න පුළුවන් පහසුවෙන් ම.”
හින්දු ආගමික දරුවෙකු ලෙස උපකල්පනය කර විශාකා විද්‍යාලයට ඉදිරිපත් කළ අයැදුම්පතක් ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධිය
හින්දු ආගමික දැරියක යැයි උපකල්පනය කරමින් දැරියක පළමුවන ශ්‍රේණියට ඇතුලත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම තුළින් කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය සහ විදුහලේ අභියාචනා මණ්ඩලය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජූලි 20 වන දා තීන්දු කළේ ය.
ඒ අනුව අදාළ දැරිය සති දෙකක් තුළ වහා ම දෙවන ශ්‍රේණියට හෝ සුදුසු ශ්‍රේණියක් සඳහා ඇතුළත් කර ගැනීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනියට නියෝග කරනු ලැබීය.
කොළඹ හැව්ලොක් පාරේ පදිංචිව සිටින පවිත්‍රා තරංගනී ඉලේපෙරුම නැමැත්තිය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පිළිගනිමින් ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමකින් තොරව සිය අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කළ බවත් තම දරුවා හින්දු භක්තිකයෙකු යැයි උපකල්පනය කරමින් එම ආගමික කෝටාව අවසන් වී ඇතැයි සඳහන් කරමින් සිය අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට වගඋත්තරකරුවන් ක්‍රියා කර ඇති බවත් පෙත්සම්කාරිය චෝදනා කර තිබිණි.
(BBC සිංහල)