Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the vibenews domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /mnt/data/vhosts/casite-1452642.cloudaccess.net/httpdocs/wp-includes/functions.php on line 6121
නාගරාසා ඇලෙක්ස්: අත්අඩංගුවේ සිදුවූ ඝාතනයක් බව යාපනය මහේස්ත්‍රාත් තීන්දු කරයි – Rights.LK

නාගරාසා ඇලෙක්ස්: අත්අඩංගුවේ සිදුවූ ඝාතනයක් බව යාපනය මහේස්ත්‍රාත් තීන්දු කරයි

උතුරේ දෙමළ තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්, අධිකරණ නියෝග මත වඩුක්කෝට්ටේ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු

පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වඩුක්කොඩෙයි, සිත්තංකේනි ලිපිනයේ පදිංචිකරුවකු වු විසි හය හැවිරිදි නාගරාසා ඇලෙක්ස් තරුණයා අත්අඩංගුවේ සිටියදී මරණයට ලක්වී තිබීම “ස්වාභාවික මරණයක් නොව මිනීමැරුමක්” බවට යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්දරාජා සිය නොවැම්බර් 24 වැනි සිකුරාදා අධිකරණයේදී කියා සිටියේය.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව විභාග වෙමින් පවතින අවස්ථාවේ එම පරිශ්‍රයේ දැඩි පොලිස් ආරක්ෂාවක් ද දක්නට ලැබිණි.

නාගරාසා ඇලෙක්ස් සහ විසි හැවිරිදි සුදාකරන් තුවාකරන් යන තරුණයන් දෙදෙනා සොරකම් කිරීමේ චෝදනා මත වඩුක්කෝට්ටේ පොලිසිය විසින් නොවැම්බර් 8 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති අතර, තුවාකරන් දැනට ඇප මත නිදහස්ව සිටි.

 නාගරාසා ඇලෙක්ස්ගේ මරණය ඝාතනයක් බවට තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයේ පිටපත උතුරු පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යවන ලෙස අධිකරණ රෙජිස්ටාර්වරයාට දැනුම් දුන්නේය. මීට පෙර තුවාකරන් විසින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර තවත් දෙදෙනකුගේ හැඩරුව ඔහු විසින් විස්තර කර ඇත. ඒ අනුව හඳුනාගැනීමේ පෙරට්ටුවක් පවත්වන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අධිකරණයේ සිටි ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ සාක්ෂිය අසා මද විරාමයක් ගෙන වැඩිදුර විභාග කටයුතු සිදුකිරීමට නැවත පැමිණි බවයි.

සුදාකරන් තුවාකරන්ට අමතරව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ ආයුර්වේද වෛද්‍යවරයකු වන වෛද්‍ය සෙල්ලතුරෙයි පරමසිවම් (74), බන්ධනාගාර නිලධාරීන් 

දෙදෙනකු සහ යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ රුද්‍රපසුපති මයෝරදන් ද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී තිබේ.

“බඳේ, අත් දෙකේ සහ පා දෙකෙහි බහුවිධ තුවාල (සීරීම් සහා තැලීම්) දක්නට ලැබුණි. මේ මරණයට සෘජුව හෝ වක්‍රව බලපාන ස්වභාවික රෝග නොතිබිණි,” යි නොවැම්බර් 20 දා පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වේ.

නාගරාසා ඇලෙක්ස් නොවැම්බර් 8 වැනි දින ශ්‍රී ලංකා පොලිසිය විසින් වඩුක්කොඩෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන දින හතරකට පසු මල්ලාවි මහේස්ත්‍රාත් අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කරන ලදී. කෙසේ වෙතත්, පොලිස් වාර්තාවේ සඳහන් වන්නේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ නොවැම්බර් 11 වැනිදා බවයි.

නාගරාසා ඇලෙක්ස්ගේ දෙමාපියන් පවසන පරිදි ඔවුන්ගේ පුතා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ දින හතරක් අත්අඩංගුවේ තබා ගැනීමෙන් අනතුරුවයි.

නොවැම්බර් 10 වැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය කාර්යාලයට නාගරාසා ඇලෙක්ස්ගේ මව පැමිණිලි කර ඇත්තේ පරීක්ෂණයක් සදහා බව පවසමින් සිය පුතු පොලීසිය විසින් නොවැම්බර් 8 වැනිදා අත්අඩංගුවට ගත් බවයි.

තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන දින හතරකට පසු මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔවුන් බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

නාගරාසා ඇලෙක්ස් යාපනය බන්ධනාගාරයේ සිරගත කිරීමෙන් පසුව අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබාගෙන තිබු අතර ඒ අවස්ථාවේදී ඔහු බැලීමට රෝහලට පැමිණි පවුලේ ඥාතියෙකුට නාගරාසා ඇලෙක්ස් තමන් පොලීසිය තුලදී වධ බන්ධනයට මුහුණ දුන් ආකාරය පිළිබඳව කර ඇති විස්තරය එම ඥාතියා විසින් සිය ජංගම දුරකතනයෙන් විඩියෝ ගත කර තිබුනි.

 “පොලිසිය සැක කේස් එකකට අරන් ගිහින් ගැහුවා. හොරකම් සිදු වෙලා කියලා ගැහුවා. පිටි පස්සේ ගැට ගහලා මූණ රෙදි කෑල්ලකින් වහලා වතුර වක්කර, වක්කර ගැහුවා. පොඩ්ඩයි කන්න දුන්නේ. එක ලණුවකින් ගැට ගහලා ගැහුවා. අහ, අහ ගැහුවා. මම නෑ කිව්වා. බෑගයකට පෙට්‍රල් තවරලා දාලා ගැහුවා. මට සිහිනැති උනා. අත් දෙකම උස්සන්න බෑ. මුලින්ම කෑම දුන්නේ නැ. පසුවදා තමයි කෑම දිලා එයාලගේ කාමරේට අරන් ගිහිල්ලා මුකුත් කියන්න එපා කියලා කිව්වා. ඊලග දවසේ මට තර්ජන කරා. අරක්කු බොන්න දුන්නා පැක් එකක්,“ යැයි නාගරාජා ඇලෙක්ස් පවසන ආකාරය විඩියෝ ගතව තිබේ.


මානව හිමිකම් කොමිසම නිසි කලට මැදිහත් නොවීම නිසා තම දරුවාට මෙම ඉරණම අත්වූ බව දෙමාපියන්ගේ විශ්වාසයයි.

යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ නල්ලතම්බි ශ්‍රීකාන්තා මියගිය ඇලෙක්ස් සහ ඔහුගේ පවුලේ අය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතර එදින විභාගයෙන් පසු අධිකරණ සංකීර්ණයෙන් පිටත මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ නඩුවේ ප්‍රතිඵලයට වෛද්‍ය මයෝරදන් ගේ සාක්ෂිය ඉතා වැදගත් බවයි.

“තුවාල ගැන විස්තර කිරීමට අමතරව මියගිය පුද්ගලයාගේ වකුගඩුවට හානි වීමට මූලික හේතුව එය බවත් දොස්තර මයෝරදන් පැවසීය.”

නීතිඥ ශ්‍රී කාන්තා වැඩිදුරටත් කියා සිටියේ අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පැනවීමට නියෝග කළහොත් අත්අඩංගුවට ගැනීමට නියමිත පොලිස් නිලධාරීන් සහ හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කළ යුතු අය රටින් පිට නොවීමට අවශ්‍ය පියවර ගන්නා බව උතුරු පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයට සහතික වූ බවයි.

ඇලෙක්ස්ගේ ඝාතනය සම්බන්ධයෙන් නඩුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනුනේ සොරකම් කිරීමේ නඩුවක චූදිතයන් දෙදෙනාට එරෙහිව පොලිසිය විසින් මුලින් පවරා තිබූ නඩුවට අදාලවය.

නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේදී දෙමළ නීතිඥයන් 40කට අධික පිරිසක් අධිකරණයට පැමිණ සිටි බව පළාත් බද වාර්තාකරුවෝ පවසති. දෙසැම්බර් 10 වැනිදා නඩුව යළි කැදවීමට නියමිතය.

Exit mobile version