තායිලන්තය තුළ සමලිංගික මුස්ලිම් ජාතිකයින් මුහුණ දෙන අරගලය

සමලිංගික විවාහ නීතිගත කිරීමට තවදුරටත් සමීප වීම සඳහා තායිලන්තය ඓතිහාසික පියවරක් ගැනීමත් සමග එරට LGBTQ+ ප්‍රජාවට අයත් පුද්ගලයින් බීබීසීය වෙත පවසන්නේ, ඔවුන් එම පියවර පිළිගත්ත ද තව බොහෝ දුරක් යා යුතුව තිබෙන බව ය.

“මම පනතට සහය දෙනවා, නමුත් මම පවුලක් හදන්න නම් යන්නේ, මම බොහෝ විට වෙනත් තැනකට යාවි ජීවත් වෙන්න,” දකුණු තායිලන්තයේ යාලා නගරයේ සමලිංගිකයෙකු වන අලිෆ් මෙසේ පවසයි.

තමන් සමලිංගිකයෙකු බව ඔහු තම සමීපතම පවුලේ සාමාජිකයන් වෙත පවසා ඇතත්, අලිෆ් පවසන්නේ, තමන් කිසි දිනක ඔවුන්ට පෙම්වතෙකු හඳුන්වා නොදුන් බව ය.

තමා තම ලිංගිකත්වය පිළිබඳව අරගලයක සිටින බව ඔහු පිළිගන්නා අතර බීබීසීය ඔහුගේ සැබෑ නම භාවිත කිරීම ඔහුට අවශ්‍ය නොවේ.

25 හැවිරිදි ඔහු ජීවත් වන්නේ ජනගහනයෙන් බහුතරයක් මුස්ලිම් වන තායිලන්තයේ දකුණු දෙසින් පිහිටි පළාත් හතරෙන් එකක ය.

එරට දකුණු ප්‍රදේශය මුස්ලිම් ජාතික නායකයෙකු විසින් පාලනය කරන ලද අතර එහි ජීවත් වූ බොහෝ දෙනා මැලේ මුස්ලිම් වැසියෝ වූහ. නමුත් 20 වන සියවස ආරම්භයේදී මෙම කලාපය තායිලන්තයේ කොටසක් බවට පත් විය. දැනට තායිලන්තයේ විශාල පිරිසක් අදහන්නේ බුදු දහම ය.

People are seen waiting for the next train at Yala Railway Station in Yala, Thailand
ඡායාරූප ශීර්ෂ වැකිය,දකුණු තායිලන්තයේ යාල ප්‍රදේශයේ වෙසෙන බහුතරයක් මුස්ලිම් ජනතාව ය

අලිෆ් පවසන්නේ, ඔහු සාමාන්‍ය මුස්ලිම් ජාතිකයෙකු මෙන් හැසිරෙන බව ත්, කතාබහ කරන බව ත්, ඇඳුම් පැළඳුම් අඳින බව ත් ය. නමුත් තම ලිංගිකත්වය පිළිබඳව සමාජයේ අනෙක් පිරිස දැන ගතහොත් ඔවුන් තමා නොසලකා හරිනු ඇතැයි ඔහු කනස්සල්ලෙන් පසුවෙයි.

ඒ, තායිලන්තයේ පහළ මන්ත්‍රී මණ්ඩලය සමලිංගික විවාහ සඳහා නීත්‍යනුකූල පිළිගැනීමක් ලබා දෙන පනතක් සම්මත කර තිබියදී ය.

එය නීතියක් බවට පත් වීමට සෙනෙට් සභාවේ අනුමැතිය සහ රාජකීය අනුමැතිය අවශ්‍ය වේ. නමුත් එය 2024 අවසානය වන විට සිදුවනු ඇතැයි බොහෝ දෙනෙකු ලෙස අපේක්ෂා කරන අතර, ඒත් සමග සමලිංගික විවාහ පිළිගන්නා එක ම අග්නිදිග ආසියානු රට බවට තායිලන්තය පත් වනු ඇත.

විවාහ සමානාත්මතාව පිළිබඳ පහළ මන්ත්‍රී මණ්ඩලයේ කමිටුවේ සාමාජික නයියානා සුපාපුං බීබීසීයට පවසන්නේ, නව නීතිය මගින් මුස්ලිම් ජාතිකයින්ට සමලිංගික විවාහයක් කර ගැනීමේ අයිතිය ලබා දෙන නමුත්: “ඉමාම්වරයෙක් විවාහ උත්සවයක් (නිකාහ්) පවත්වන්න ප්‍රතික්ෂේප කරන්න පුළුවන්,” යැයි ද අනතුරු අඟවයි.

ඔහු ජීවත් වන මුස්ලිම් ප්‍රජාව සමලිංගික විවාහ උත්සව පිළිගනු ඇතැයි සිතිය නොහැකි බව ද සිතන අලිෆ් පවසන්නේ: “මට ඇහුණා සිකුරාදා යාච්ඥාවෙන් පස්සේ පල්ලියෙන් එළියෙදි මිනිස්සු LGBTQ+ අයව සත්තු එක්ක සංසන්දනය කරනවා. මේ වගේ වෛරී ප්‍රකාශ ඇසීමෙන් මාව කම්පනයට පත් වුණා,” යනුවෙනි.

ඡායාරූප ශීර්ෂ වැකිය,තායිලන්තයේ ඉස්ලාමීය මධ්‍යස්ථානයේ සිටින මුස්ලිම් කාන්තාවක්

පැමිණ සිටින මන්ත්‍රීවරුන් 415න් 400 දෙනෙකු විසින් සම්මත කරන ලද මෙම නව නීතිය, විවාහය පුරුෂයෙකු සහ ස්ත්‍රියක් අතර වෙනුවට පුද්ගලයන් දෙදෙනෙකු අතර හවුල්කාරිත්වයක් ලෙස විස්තර කරනු ඇත. තව ද එමගින් LGBTQ+ යුවළවලට විවාහක පුද්ගලයින්ට ලැබෙන බදු සහන, දේපළ අයිතිය සහ තම සහකරුවා හෝ සහකාරිය ශාරීරික හෝ මානසික දුර්වලතාවකින් පෙළෙන අවස්ථාවලදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කැමැත්ත පළ කිරීමට සමාන අයිතිවාසිකම් ලබා දෙනු ඇත.

මෙම නීතියට අනුව විවාහක සමලිංගික යුවළවලට ද දරුවන් කුලවද්දවා ගැනීමට හැකියාව ලැබේ. කෙසේ වෙතත්, “පියා සහ මව” වෙනුවට “දෙමව්පියන්” යන යෙදුම භාවිත කිරීමට කමිටුවේ යෝජනාව පහළ මන්ත්‍රී මණ්ඩලය සම්මත නොකළේ ය.

තායිලන්තයේ දැනටමත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අනන්‍යතාව සහ ලිංගික දිශානතිය සම්බන්ධයෙන් වෙනස් කොට සැලකීම තහනම් කරන නීති ක්‍රියාත්මක අතර, එබැවින් එය ආසියාවේ වඩාත් ම LGBTQ+ ප්‍රජාව සඳහා මිත්‍රශීලී රටවලින් එකක් ලෙස සැලකේ.

නමුත් ඔවුන් සමලිංගික යුවළ විවාහ සමානාත්මතාවට මෙතරම් සමීප කිරීම සඳහා වසර ගණනාවක් පුරා සටන් කර තිබේ.

සමලිංගික විවාහ නීතිගත කිරීමට පසුගිය කාලයේ ගත් උත්සහයන් පුළුල් මහජන සහයෝගය තිබියදීත් අසාර්ථක විය. පසුගිය වසරේ අගභාගයේ කරන ලද රජයේ සමීක්ෂණයකින් පෙනී ගියේ, ඡන්දය ලබා දුන් අයගෙන් 96.6%ක් පනතට පක්ෂව සිටි බව ය.

LGBTQ+ පිළිබඳ ආකල්ප දුර්ලභ කලාපයක එම යුවළවල් සඳහා සාපේක්ෂ වශයෙන් ආරක්‍ෂිත රටක් ලෙස තායිලන්තය දරන කීර්තිය එමගින් තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇත. විවාහ සමානාත්මතාව පිළිබඳ පහළ මන්ත්‍රී මණ්ඩල කමිටුවේ සභාපති දනූෆෝන් පුන්නාකන්ටා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසුවේ: “මේක තමයි සමානාත්මතාවයේ ආරම්භ ය. ඒක හැම ප්‍රශ්නෙකට ම උත්තරයක් නෙවෙයි. නමුත් ඒක සමානාත්මතාව සඳහා තියන පළමු පියවර. මේ නීතියට අවශ්‍ය මේ පුද්ගලයින්ට මේ අයිතිවාසිකම් නැවත ලබා දීමට මිස ඔවුන්ට අයිතිවාසිකම් ලබා දීමට නොවේ.”

දකුණු තායිලන්තයේ සොන්ක්ලා නගරයේ උපත ලැබූ 27 හැවිරිදි මුස්ලිම් ජාතික සමලිංගික පිරිමි පුද්ගලයෙකුට, මෙම නීතියෙන් ඔහු ජීවත් වන ප්‍රදේශයේ විශාල වෙනසක් වනු ඇතැයි විශ්වාසයක් නොමැත.

ඔහු ඔහුගේ සැබෑ නම භාවිත කිරීමට අකමැති බැවින් අපි ඔහු වයෙල් ලෙස හඳුන්වමු. ඔහු බීබීසීය වෙත පවසන්නේ, ඔහුගේ ලිංගිකත්වය නිසා තමා බොහෝ විට හිරිහැරයට ලක්වන බව ය.

වයෙල් පවසන්නේ තමා හැදී වැඩුණේ, බොහෝ අවස්ථාවලදී තමා විවිධ ආලේපන වර්ගවලින් හැඩ ගැන්වූ සහ ගැහැනු ඇඳුම් පැළඳුම්වලින් සැරසූ ඔහුගේ ඥාති සොහොයුරු සොහොයුරියන් සමග බව ය. දැඩි මුස්ලිම් ජාතිකයන් වූ තම දෙමාපියන් ඊට අකමැති වූ ඔහු පවසයි.

ඔහු පවසන්නේ, ඔහුගේ දෙමව්පියන්ගේ මිතුරන් ඔහු “වෙනස් ලෙස හැසිරීම” නිසා ඔහුට අකාරුණික ලෙස සැලකූ බව ත් තමා වැඩෙන අවධියේ ඔවුන් නිතර තම ලිංගිකත්වය පිළිබඳව ප්‍රශ්න කළ බව ත් ය.

LGBTQ+ ප්‍රජාව තුළ සිටීම නිසා “අසාධාරණ දඩයම් කිරීමකට ලක් නොවිය යුතු” යැයි වයෙල් ප්‍රකාශ කරන අතර ඔහු නව නීතිය පිළිගන්නා නමුත් දැඩි හඬකින් ප්‍රකාශ කළේ: “මට විවාහ වෙන්න ඕන නෑ,” යනුවෙනි.

තමන් සමලිංගික පුද්ගලයෙකු සමග විවාහ වන බව තම දෙමාපියන්ට පැහැදිලි කිරීම සංකීර්ණ කාර්යයක් වනු ඇතැයි ඔහු පවසන්නේ, මෙම නව නීතිය තිබුණ ද තායිලන්තයේ වෙසෙන බොහෝ මුස්ලිම් වැසියන්ට “එය ඔවුන් ඔවුන්ගේ ලෝකය තුළ වැරදිසහගත දෙයක් ලෙස සලකන” වන නිසා බව ය.

(BBC සිංහල)

Exit mobile version