ඉන්දීය පුරවැසිභාවය: මුස්ලිම්වරුන්ගෙන් තොර සංක්‍රමණික නීතිය බලාත්මක කිරීමට ඉන්දියාව සැරසෙයි

මුස්ලිම් විරෝධී බවට විවේචනයට ලක්වූ මතභේදාත්මක පුරවැසි නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය රජය නිවේදනය කර තිබේ.

පුරවැසිභාවය පිළිබඳ සංශෝධන පනත (CAA) මගින් පකිස්ථානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල සිටින මුස්ලිම් නොවන සුළුතර ආගමිකයින්ට ඉන්දියාවේ පුරවැසිභාවය ඉල්ලා සිටීමට අවසර ලැබේ.

බලධාරීන් පවසන්නේ, පීඩාවන්ට මුහුණ පා සිටින්නන්ට එය උපාකාරයක් වන බව ය.

විශාල පිරිසකට මරු කැඳවමින් සහ තවත් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට තුඩු දුන් විරෝධතා හමුවේ 2019 වසරේදී එම නීතිය සම්මත විය.

ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පවසන පරිදි, නොසන්සුන්තාවන් හමුවේ ඒ සඳහා නීතිරීති සකස් කර නොතිබූ නමුත් මේ වන විට ඒවා සකස් කර තිබේ.

ඔහු සඳුදා සමාජ මාධ්‍යවල ලියා පළ කර තිබුණේ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි “තවත් පොරොන්දුවක් ඉටු කරමින් එම රටවල වෙසෙන හින්දු, සීක්, බෞද්ධ, ජෛන, පාර්සි සහ ක්‍රිස්තියානුවන් වෙනුවෙන් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයන්ගේ පොරොන්දුව යථාර්ථයක් කර ගත්” බව ය.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, සුදුසුකම් සහිත පුද්ගලයින්ට ඔන්ලයින් ඔස්සේ ඉන්දීය පුරවැසිභාවය අයැදුම් කළ හැකි බව ය. අයැදුම් පත් භාර ගැනීම වෙනුවෙන් වෙබ් අඩවියක් ද මේ වන විටත් සකස් කර තිබේ.

අමාත්‍යංශය පැවසුවේ, මෙම නීතිය සම්බන්ධයෙන් “දුර්මත රැසක්” පැවති අතර, කොවිඩ්-19 වසංගතය නිසා එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වූ බව ය.

“මේ පනත තියෙන්නේ, වසර ගණනක් පුරා පීඩාවට පත්ව සිටින, ඉන්දියාව හැර ලෝකයේ වෙනත් කිසි ම හෙවණක් නැති පුද්ගලයින් වෙනුවෙන් පමණ යි,” එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබිණි.

පුරවැසි සංශෝධන පනත ක්‍රියාත්මක කිරීම, මේ වසරේ පැවැත්වෙන මහ මැතිවරණයට පෙර මෝදිගේ පාලක හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ (BJP) ප්‍රධාන ඡන්ද පොරොන්දුවලින් එකකි.

එය දැනට නීතිවිරෝධී සංක්‍රමණිකයන්, ඉන්දීය පුරවැසියන් බවට පත්වීම වළක්වන, වසර 64ක් පැරණි ඉන්දීය පුරවැසි නීතිය සංශෝධනය කිරීමකි.

නව නීතියට අනුව, පුරවැසිභාවය අපේක්ෂා කරන්නන් 2014 දෙසැම්බර් 31 වන විට පකිස්ථානය, බංග්ලාදේශය හෝ ඇෆ්ගනිස්ථානයේ සිට ඉන්දියාවට පැමිණි බව ඔප්පු කළ යුතු ය.

මැතිවරණයට පෙර නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවට භාරතීය ජනතා පක්ෂයේ නායකයින් පසුගිය මාස කිහිපය පුරා ඉඟි පළ කරමින් සිටි බැවින් සඳුදා නිකුත් කළ නිවේදනය බොහෝ දෙනෙකුගේ විමතියට කරුණක් නොවීය. නිවේදනය නිකුත් කිරීමෙන් පසු භාරතීය ජනතා පක්ෂය, “Jo Kaha So Kiya” (අපි කියපු දේ කළා) යනුවෙන් හෑෂ්ටැගයක් හසුරුවමින් සිටී.

මේ අතර, පුරවැසි සංශෝධන පනතට එරෙහි විරෝධතා ඇසෑම් ඇතුළු ප්‍රාන්ත කිහිපයක ආරම්භ වී ඇති අතර, ඊසාන දිග ප්‍රාන්තයේ 2019 පැවති විරෝධතාවලට නායකත්වය දුන් සමස්ත ඇසෑම් ශිෂ්‍ය සංගමය (AASU) අඟහරුවාදා දිනයේ ප්‍රාන්තය වසා දමන ලෙසට දැනුම් දීමක් කර තිබුණි..

දකුණු කලාපයේ පිහිටි කේරළ ප්‍රාන්තයේ පාලක පක්ෂය වන ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී පක්ෂය) ප්‍රාන්තය පුරා විරෝධතා රැලි පවත්වන ලෙස දැනුම් දී තිබේ. “මේ නීතිය මගින් ජනතාව බෙදෙනවා, වාර්ගික හැඟීම් ඇවිස්සෙනවා, ඒ විතරක් නෙවෙයි, ව්‍යවස්ථාවේ මූලික ප්‍රතිපත්ති උල්ලංඝණය වෙනවා,” ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය පීනරායි විජයන් පැවසූ අතර, සිය ප්‍රාන්තය තුළ එම නීතිය ක්‍රියාත්මක නොකරන බව ද පැවසීය.

පුරවැසි සංශෝධන පනත විවේචනය කරන්නන් පවසන්නේ, එය ආගමික පදනම මත පුරවැසියන්ට වෙනස් කොට සැලකීම තහනම් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලධර්ම උල්ලංඝණය කරන බැහැර කළ යුතු පනතක් බව ය.
ඡායාරූප ශීර්ෂ වැකිය,2019 වසරේදී මෙම නීතියට එරෙහිව රට පුරා විරෝධතා පැවැත්විණි

පුරවැසි සංශෝධන පනත විවේචනය කරන්නන් පවසන්නේ, එය ආගමික පදනම මත පුරවැසියන්ට වෙනස් කොට සැලකීම තහනම් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලධර්ම උල්ලංඝණය කරන බැහැර කළ යුතු පනතක් බව ය.

නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකාවේ දෙමළ සරණාගතයින් ඇතුළු මුස්ලිම් ප්‍රජාව බහුතරයක් නොවන රටවලින් ඉන්දියාවට පලා යන්නන්ට නව නීතියෙන් ආවරණයක් නොලැබේ.

අසල්වැසි මියන්මාරයේ සිට පැමිණෙන රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින් සඳහා ද ඉන් ප්‍රතිපාදන සලසා නැත.

යෝජිත ජාතික පුරවැසි ලේඛනය සමග එක්වූ විට, පුරවැසි සංශෝධන පනත රටේ මිලියන 200ක මුස්ලිම්වරුන්ට හිංසා පීඩා කිරීමේ මාර්ගයක් ලෙස භාවිත කළ හැකි බවට අවධානයක් යොමු වී තිබේ.

මෙම නීතිය ක්‍රියාත්මක කිරීම මගින් සංක්‍රමණිකයන් රට තුළට වැඩි වශයෙන් ඇතුළු වීමට ඉඩ ඇතැයි ඉන්දියාවේ දේශසීමා ආසන්නයේ ජීවත් වන ඇතැම් ඉන්දියානුවෝ ද කනස්සල්ලට පත්ව සිටිති.

ඉදිරි මැතිවරණයට බලපෑම් කිරීමට රජය උත්සහ කරන බවට චෝදනා කරන විපක්ෂයට, සඳුදා නිකුත් කළ නිවේදනය එතරම් යහපත් එකක් වී නැත.

මෙම නීතිය මැයි මාසය වන විට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අඛණ්ඩව තුන් වන වරටත් නැවත තේරී පත්වීමට අපේක්ෂාවෙන් සිටී.

“අවුරුදු හතරක් තිස්සේ කල් දමමින් ඉඳලා, මැතිවරණයට දින දෙක තුනකට කලින් මේක (මෙම නීතිය) ක්‍රියාත්මක කරන එකෙන් පේනවා, ඒක කරන්නේ දේශපාලනික හේතු මත කියලා,” සමස්ත ඉන්දීය ත්‍රිනමූල් කොංග්‍රස් පක්ෂයේ නායිකා මමතා බැනර්ජි මාධ්‍ය හමුවකදී පැවසීය.

ඉන්දීය ජාතික කොංග්‍රසයේ සන්නිවේදන ප්‍රධානී ජයිරාම් රමේෂ් සමාජ මාධ්‍යවල ලියා ඇත්තේ, “පුරවැසි සංශෝධන පනතට අදාළ නීතිරීති දැනුම් දීමට ගත කළ කාලය අගමැතිගේ අමූලික බොරුවල තවත් ප්‍රදර්ශනයක්,” බව ය.

ඕල් ඉන්දියා මජ්ලිස්-ඊ-ඉත්තෙහාදුල් මුස්ලිමීන් පක්‍ෂයේ නායක අසාදුදීන් ඔවයිසි, මෙය ක්‍රියාත්මක කිරීමට තෝරා ගත් කාලය පිළිබඳව ප්‍රශ්න කළේ ය.

“පුරවැසි සංශෝධන පනත යනු මුස්ලිම්වරුන් ඉලක්ක කිරීම වෙනුවෙන් පමණක් සකස් කළ එකක් වන අතර, එය වෙනත් අරමුණක් ඉටු නොකරයි,” ඔහු X (මීට පෙර Twitter)හි පළ කර තිබිණි.

(BBC සිංහල)

Exit mobile version