උතුරේ හමුදා කඳවුරු සීමා තුළ නිදහස් නොකළ ආගමික ස්ථාන කීයක් තිබේද?

වසර 34 කට ආසන්න කාලයක් උතුරේ හමුදා කඳවුරු සීමා තුළ පැවති සිවිල් ජනතාව භාවිතා කළ කෝවිල් හතක පූජා පැවැත්වීම සඳහා පමණක් ගමන් කිරීමට යුද හමුදාව පසූගියදා යාපනය වලිකාමම් ජනතාවට අවසර ලබා දී තිබුණි.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හමුදා කඳවුරු ආශ්‍රිතව පිහිටි කෝවිල් හා කතෝලික දේවස්ථාන ආශ්‍රිත ඉඩම් මුදා හරින ලෙසය.

පූජාවන් සඳහා අවසර

සතියකට එක් දිනක් හා කෝවිල්වල විශේෂ පූජාවන් පැවැත්වෙන අවස්ථාවන්හි දී පමණක් කෝවිල් සීමාව වෙත සිවිල් ජනතාව වෙත ගමන් කිරීමට අවසර ලබාදී ඇති අතර යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි අවසරයක් ලබා ගැනීමෙන් පසුව, යුදහමුදා පරීක්ෂා කිරීම්වලින් අනතුරුව කෝවිල් පූජාවන් වෙනුවෙන් සීමිත පිරිසකට ගමන් කිරීමට අවසරය ලබාදී ඇති බව වලිකාමම් ජනතාව පවසති.

කෝවිල් තුළ පූජාවන්ට අවශ්‍ය භාණ්ඩ පමණක් රැගෙන යාමට අවසරය ලබාදී ඇති අතර, තමන්ගේ දුරකථන පවා යාපනය අධි ආරක්ෂිත කලාපය තුළ පිහිටි කෝවිල් තුළට රැගෙන යාමට අවසර නොලැබෙන බව වලිකාමම් ජනතාව ප්‍රකාශ කළහ.

යාපනය, පලාලි උතුර ජේ 254 ග්‍රාමසේවා වසමේ පිහිටි රාජේශ්වරි අම්මාන් කෝවිල, නාගතම්පිරාන් අම්මාන් කෝවිල හා ජේ 238 ග්‍රාම නිළධාරි වසමේ ඇති මුත්තුමාරි අම්මාන් කෝවිල තුළ පූජාවන් කිරීමටද, යාපනය, වාසවිලාන් බටහිර ජේ 245 ග්‍රාම සේවා වසමේ පිහිටි ‍මලාම්පිරායි ගණදෙවි කෝවිල, ශිවන් කෝවිල, නාගතම්පිරාන් කෝවිල, සත්තිවුඩයාල් අම්මාන් කෝවිල වැනි කෝවිල්වල පූජාවන් පැවැත්වීම වෙනුවෙන් බැතිමතුන් වෙත ගමන් කිරීමට යුද හමුදාව විසින් අවසර ලබාදී තිබුණි.

කෝවිල් තුළ පූජාවන්ට අවශ්‍ය භාණ්ඩ පමණක් රැගෙන යාමට අවසරය ලබාදී ඇති අතර, තමන්ගේ දුරකථන පවා යාපනය අධි ආරක්ෂිත කලාපය තුළ පිහිටි කෝවිල් තුළට රැගෙන යාමට අවසර නොලැබෙන බව වලිකාමම් ජනතාව ප්‍රකාශ කළහ.
ඡායාරූප ශීර්ෂ වැකිය,කෝවිල් තුළ පූජාවන්ට අවශ්‍ය භාණ්ඩ පමණක් රැගෙන යාමට අවසරය ලබාදී ඇති අතර, තමන්ගේ දුරකථන පවා යාපනය අධි ආරක්ෂිත කලාපය තුළ පිහිටි කෝවිල් තුළට රැගෙන යාමට අවසර නොලැබෙන බව වලිකාමම් ජනතාව ප්‍රකාශ කළහ.

යාපනය හමුදා කඳවුරු ආශ්‍රිතව කෝවිල් කීයක් පිහිටා තිබේ ද?

යාපනය, වලිකාමම්, රාජජීවරි අම්මාන් කෝවිලේ පූජක එම්.නවරත්නම් පූජකවරයාගෙන් ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල විමසා සිටියේය.

“දැනට යාපනය හමුදා කඳවුරු පිහිටලා තිබෙන ඉඩම් යුද්ධයට පෙර 1990 අවුරුද්ද විතර වෙනකොට සිවිල් මිනිස්සු පදිංචිවෙලා හිටපු ඉඩම්.”

“පලාලි හා වාසවිලාන් ග්‍රාම නිළධාරි කොටස්වල තිබුණ ඉඩම් තමයි ඔය කඳවුරු හදන්න අරගත්තේ. යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව ජීවත්වු වටිනාකමින් වැඩි ඉඩම් ඔය සීමාව තුළ තමයි තිබ්බේ.”

“මගේ මතකය හැටියට දැනට ඔය කඳවුරු සීමාව තුළ තවත් කෝවිල් 20 කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා නිදහස් කරලා නැතුව.”

“දැන් ටික දවසකට කලින් කෝවිල්වල පූජාවන් කරන්න මිනිස්සුන්ට යන්න අවසරය ලබාදීලා තිබ්බා. ඒත් ඒ ඉඩම් තවමත් නිදහස් කරලා නෑ.කෝවිලේ පූජාවන් තියන්න විතරයක් හමුදාවේ අය සිවිල් ජනතාව අරගෙන යනවා.විශේෂ පූජාවන් තියෙන දවස්වලට.”

“පලාලි හා වාසවිලාන් ප්‍රදේශයේ විශාල ප්‍රමාණයක් වගා ඉඩම්.යාපනය ජනතාවගේ වගා ඉඩම් විශාල ප්‍රමාණයක් කඳවුරු සීමාව තුළ තියෙනවා.”

“තවම නිදහස් කරලා නැති රාජේශ්වරි අම්මාන් කෝවිල වටේටම වගා ඉඩම් තමයි ඒ දවස්වල තිබුණේ.විශාල වගා ඉඩම් ප්‍රමාණයක් ඔය කෝවිල සීමාවේ තිබ්බා. ඒත් ඒ ඉඩම් තවමත් නිදහස් කරලා නැති හින්දා ඒ ඉඩම්වල මිනිස්සුන්ට තවමත් වගා කටයුතු කරගන්න යන්න බැරිව ඉන්නවා.”

ඔය කෝවිල් හා කතෝලික දේවස්ථාන නිදහස් කරන ලෙසට ඉල්ලීම් කරලා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට, වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, යාපනය යුද හමුදා මූලස්ථානයට ගම්වල මිනිස්සු ඉල්ලීම් කරලා තිබෙනවා. ඒත් ඒ ගැන තවම ස්ථිර පිළිතුරක් ලැබිලා නෑ.”

යාපනය දිස්ත්‍රික් ලේකම් මොකද කියන්නේ ?

යාපනය ආරක්ෂක අංශ සතුව යාපනය සිවිල් ජනතාවගේ ආගමික ස්ථාන හා ඉඩම් කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද?යන්න සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ.සිවපාදසුන්දරන්ගෙන් බීබීසී සිංහල විමසා සිටියේය.

“යාපනය දිස්ත්‍රික්කය තුළ සිවිල් ජනතාව 1990 වසර හා ඊට කලින් භාවිතා කළ ආගමික ස්ථාන 14 ක පමණ ප්‍රමාණයක් තිබෙනවා කියලා සිවිල් ජනතාව දැනුම් දීලා තිබෙනවා. කිතුණු දේවස්ථාන දෙකක් හා කෝවිල් 12 ක වගේ ප්‍රමාණයක් තමයි තවමත් නිදහස් කරන්න තිබෙන්නේ.ඒ ආගමික ස්ථාන ඉදිරියේදී නිදහස් කරන්න අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා.”

“යාපනය ආරක්ෂක අංශ සතුව සිවිල් ජනතාවගේ ඉඩම් අක්කර 3000 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට තිබෙනවා. යාපනය, වලිකාමම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ තමයි දැනට වැඩිම ඉඩම් ප්‍රමාණයක් ආරක්ෂක අංශ සතුව තිබෙන්නේ.”

“සිවිල් ජනතාවගේ ඉඩම් හා ආගමික ස්ථාන නිදහස් කරන්න කියලා ගම්වාසීන් ඉල්ලීම් කරලා තිබෙනවා. ඒ ගැන රජයේ වගකිව යුතු අංශ දැනුවත් කරන්න අපි කටයුතු කරලා තිබෙනවා.”

“අදාළ වගකිව යුතු අංශවල අවසරය ලැබුණ විගස සිවිල් වැසියන්ගේ ඉඩම් නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා.” දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

ආරක්ෂක අංශ කියන්නේ කුමක්ද ?

කඳවුරු සීමා තුළ පිහිටි කෝවිල්වල පූජාවන් පැවැත්වීමට අවසරය ලබාදීම සම්බන්ධයෙන් හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාරගෙන් විමසීමේදී ඔහු පැවසූවේ, පලාලි හා වාසවිලාන් ගම්මානවල ජනතාවගේ ඉල්ලීම් අනුව දැනට ආරක්ෂක අංශ කඳවුරු සීමාවේ පිහිටි කෝවිල් හතක පූජා පැවැත්වීමට පසුගියදා සිවිල් ජනතාවට අවසරය දුන් බවය.

“කෝවිල්වල පූජාවන් පවත්වන දිනවල හා විශේෂ පූජාවන් පවත්වන කාලවල දී කෝවිලේ පූජාවන් කරන්න අවස්ථාව ලබාදීලා තිබෙනවා.”

“කඳවුරු සීමාව තුළ කෝවිල් පිහිටා තිබෙන බැවින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචිය ලබාගත් හා අවසරය ලබාගත් පිරිසට තමයි කෝවිල් පූජාවන් වෙනුවෙන් ගමන් කරන්න පූළුවන්.”

“දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අවසරය ලබාගත් පිරිස යුද හමුදාව මඟින් අදාළ කෝවිල් වෙත රැගෙන ගොස් පූජාවන් පවත්වලා නැවත රැගෙන එනවා.මොකද ආරක්ෂක අංශ කඳවුරු සීමාව තුළ තමයි කෝවිල් පිහිටලා තිබෙන නිසා.”

“තවත් කොපමණ ආගමික ස්ථාන ප්‍රමාණයක් ආරක්ෂක අංශ සීමාවන් තුළ තිබෙනවාද කියා නිශ්චිත අගයක් දැනට අප සතුව නෑ.” හමුදා ප්‍රකාශකවරයා පැවසීය.

මුලතිව් දිස්ත්‍රික්කයේ හමුදා කඳවුරු ආශ්‍රිතව ආගමික ස්ථාන කීයක් පිහිටා තිබේ ද?

“මුලතිව් දිස්ත්‍රික්කයේ කේපාපිලව් හා මුල්ලිවයික්කාල් කොට්ඨාස තුළ තමයි දැනට සිවිල් ජනතාවගේ වැඩි ඉඩම් ප්‍රමාණයක් ආරක්ෂක අංශ පවරාගෙන තිබෙන්නේ.” මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා සඳහන් කළාය.

“වට්ටුවාල් සීමාවේ නාවික හමුදා කඳවුරක් වෙත මුලතිව් ජනතාවගේ ඉඩම් අක්කර 600 ක් විතර පවරාගෙන තිබෙනවා. කේපාපිලව් යුද හමුදා කඳවුර වෙතත් සිවිල් ජනතාවගේ අක්කර 150 ක් විතර පවරාගෙන තිබෙනවා.ඒ ඉඩම් සීමාවන් තුළ අපේ ජනතාගේ ආගමික ස්ථාන දෙකක් තිබෙනවා.”

“ඒ ඉඩම් හා අපේ ආගමික ස්ථාන නිදහස් කරලා දෙන්න කියලා අපි අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළා.ඒත් තවමත් ඒ ඉඩම් නිදහස් කරලා දුන්නේ නෑ.,

“දැන් යුද්ධයක් නැති හින්දා සීමිත ඉඩම් ප්‍රමාණයක් ආරක්ෂක අංශ වෙත පවරාගෙන අනෙක් ඉඩම් නිදහස් කරන්න පුළුවන් කියලා තමයි අපි කියන්නේ” ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා සඳහන් කළාය.

උතුරු පළාතේ ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් හා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් අතර සාකච්ජාවක් ඉකුත් 5 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වා ඇති අතර, එහිදී යාපනය දිස්ත්‍රික්කයේ මෙතෙක් නිදහස් නොකළ සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කළ බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කොට තිබේ.

Exit mobile version