ඊශ්‍රායලයේ හිටපු ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියෙකුට අනුව, පසුගිය ඔක්තෝබර් මාසයේදී එල්ල වූ මාරාන්තික ප්‍රහාරයට වසර ගණනාවකට පෙර හමාස් සංවිධානයට මුදල් සැපයෙන මාර්ග අවහිර කිරීමට තිබුණු අවස්ථාව ඊශ්‍රායල් අගමැති ප්‍රතික්ෂේප කර තිබේ.
උඩී ලෙවී බීබීසී පැනොරාමා (BBC Panorama) වෙත පවසා ඇත්තේ, හමාස් සංවිධානයේ මූල්‍ය මූලාශ්‍ර ඉලක්ක කරන ලෙස තමන් බෙන්ජමින් නෙතන්යාහුට උපදෙස් දුන් බව ය.
එය එම සංවිධානයේ හමුදා බලය ගොඩනැගීමට බාධාවක් වීමට ඉඩ තිබුණු බවට ඔහු විශ්වාස කරන නමුත් බුද්ධි අංශ ක්‍රියාත්මක නොවූ බව ඔහු පවසයි.
මෙම චෝදනා සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති කාර්යාලය ප්‍රතිචාර දක්වා නොමැත.
හමාස් තුවක්කුකරුවෝ පසුගිය වසරේ ඔක්තෝබර් 7 වන දින දකුණු ඊශ්‍රායලයට ඇතුළු වූ අවස්ථාවේ පුද්ගලයින් 1,200ක් පමණ මරා දැමූ අතර 250කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගත්හ. ප්‍රාණ ඇපකරුවන් එකසිය තිහක් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් නොමැත.
ඊට ඊශ්‍රායලයේ හමුදා දැක්වූ ප්‍රතිචාරය හේතුවෙන් පලස්තීනුවන් 29,000ක් මිය ගොස් ඇති බව ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් පාලනය කරනු ලබන සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
2016 වර්ෂය වන තෙක් ඊශ්‍රායල ඔත්තු ඒජන්සිය වන මොසාඩ්හි ආර්ථික යුද්ධමය අංශයේ ප්‍රධානියා වූ ලෙවී පවසන්නේ “මූල්‍ය මෙවලම් පමණක් භාවිත කරමින්” ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය මැඩපැවැත්වීමට ඊශ්‍රායලයට ක්‍රම ඇති බව ඔහු නෙතන්යාහු වෙත බොහෝ වාරයක් පැවසූ බව ය.
තම යෝජනාවට නෙතන්යාහුගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බව ලෙවී පවසයි.
හමාස් සංවිධානයේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කිරීමට නෙතන්යාහු පැකිළීම සහ ඔක්තෝබර් 7 ප්‍රහාරය අතර සම්බන්ධයක් ඇති බවට ඔහු සිතන්නේ දැයි විමසූ විට, ලෙවී ලබා දුන්නේ පැහැදිලි පිළිතුරකි.
“ඇත්ත වශයෙන් ම, ඔව්,” ඔහු පවසයි. “ඉතා හොඳ අවස්ථාවක් තිබුණා…” ගසා තීරයට ගලා ගිය “ගොඩක් සල්ලි අපිට නවත්තන්න තිබුණා,” සහ “හමාස් සංවිධානය ගොඩනගපු රාක්ෂයා බොහෝ විට ඔක්තෝබර් 7 වන දා අපි මුහුණ දුන් රකුසා වගේ නොවෙන්න තිබුණා.”
ගාසා තීරයට යටින් කිලෝමීටර් සිය ගණනක් උමං තැනීමට සහ 30,000ක් පමණ වන හමුදා බළකායක් වෙනුවෙන් මුදල් ගෙවීමට හමාස් සංවිධානයට ඩොලර් මිලියන ගණනක් නොව බිලියන ගණනක් අවශ්‍ය වීමට ඉඩ තිබුණු බව හිටපු ඔත්තු සේවා ප්‍රධානියා පවසයි.
ලෙවී 2014 වසරේදී නෙතන්යාහුගේ අවධානයට ලක් කළ එවැනි එක් නිශ්චිත අරමුදල් ප්‍රවාහයක් වන්නේ, හමාස් සංවිධානය විසින් පාලනය කරන ලද සහ තුර්කියේ සිට කළමනාකරණය කරන ලද බවට ඊශ්‍රායල බුද්ධි අංශ පැවසූ ඩොලර් මිලියන ගණනක මූල්‍ය වත්කම් එකතුවකි.
ලෙවී පවසන්නේ, නෙතන්යාහු එම තොරතුරු මත ක්‍රියා නොකිරීමට තීරණය කළ බව ය.
ඊශ්‍රායලයේ පැවැත්මේ අයිතිය ප්‍රතික්ෂේප කරන සහ එහි විනාශය සඳහා කටයුතු කරන හමාස් සංවිධානය හුදෙක් හමුදා බළකායකට වඩා වැඩි දෙයකි. එය ගාසා තීරයෙන් ඔබ්බට විහිදෙන මූල්‍ය ආධාර ලබන දේශපාලන ව්‍යාපාරයකි.
“අපි ප්‍රධාන අනුග්රාහකයෝ විදිහට කටාර් සහ ඉරානය ගැන කතා කළා,” නෙතන්යාහු සමග කළ සංවාද ගැන ලෙවී පවසයි. “ඒ වගේ ම තුර්කිය යම් අංශයකින් වඩා ත් වැදගත් වන්නේ ඔවුන් [හමාස් සංවිධානයේ] මූල්‍ය යටිතල පහසුකම් කළමනාකරණය කිරීම සඳහා හමාස් සංවිධානයට තීරණාත්මක කේන්ද්‍රස්ථානයක් වන නිසා.”
පැනොරාමා විසින් හමාස් සංවිධානයේ මූල්‍ය වත්කම් ප්‍රමාණය පිළිබඳව හෙළි කෙරෙන, ඔක්තෝබර් 7 ප්‍රහාරයට කලකට පෙර අත්පත් කරගත් ලේඛන විමර්ශනය කර තිබේ. මෙම ලේඛනවල 2018 මුල් භාගයේදී අවසන් මාස අටක කාල පරිච්ඡේදයක තොරතුරු ඇතුළත් වේ. ඊශ්‍රායල බුද්ධි අංශ පවසන්නේ, හමාස් සංවිධානය තම මුදල් උපයන ආකාරය එමගින් පිළිඹිබු වන බව ය.
සෞදි අරාබිය, ඇල්ජීරියාව, සුඩානය, ඊජිප්තුව, ගල්ෆ් සහ තුර්කිය ඇතුළු මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව පුරා විහිදී ඇති සමාගම් 40ක් පමණ එහි ඇතැයි විශ්වාස කෙරේ.
එම වත්කම් භාවිතයෙන් සිදු කරන ලද බව කියන ආයෝජන සඳහා මාර්ග ඉදිකිරීම්, ඖෂධ සහ වෛද්‍ය උපකරණවල සිට සංචාරක ව්‍යාපාරය දක්වා ත්, පතල් කැණීම්, නව රත්රන් නිධි සොයා යාම් සහ සුඛෝපභෝගී දේපළ වෙළෙඳාම් ව්‍යාපෘති ආදී සියල්ල ඇතුළත් ය.
2022 වසරේ සිට, මෙම ලේඛනවල ලැයිස්තුගත කර ඇති සමාගම් හයක් එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් ඍජුව හෝ වක්‍රව හමාස් සංවිධානයට අයිති හෝ ඔවුන් විසින් පාලනය කරන ලද ඒවා ලෙස නම් කරනු ලැබ ඇත. එක්සත් ජනපදය සම්බාධක පැනවීමෙන් ඒවාට වෙළෙඳ කටයුතුවල නිරත වීමට ඇති හැකියාව සීමා කර තිබේ.
මෙම ආයෝජන ගැන ඇතුළත් ලේජරයේ ලැයිස්තුගත කර ඇති එක් එක් සමාගමට පසෙකින් හමාස් සංවිධානය විසින් පාලනය කරන ලද එක් එක් වත්කම්වල වටිනාකම සඳහන් කර ඇතැයි පැවසේ. ඇතැම් සමාගම්වල වටිනාකම් ඩොලර් මිලියන ගණනකි. ඒවායේ මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් 422,573,890කි.
එම වටිනාකමෙන් වැඩි ප්‍රමාණයක් දේපළ වෙළෙඳාම් හා බැඳී ඇති බව කියනු ලැබේ.
හමාස් වැනි සංවිධානයකට තම මූල්‍ය කළමනාකරණය සඳහා “කදිම මාර්ගයක්” වන්නේ වටිනාකම කාලයත් සමග ඉහළ යන සහ කුලී ආදායමක් ලබා ගැනීම සඳහා විභවයක් ඇති දේපළ ආයෝජනය යැයි, Royal United Services Institute (Rusi)හි මූල්‍ය අපරාධ සහ ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ (CFCS) ආරම්භක අධ්යක්ෂ ටොම් කීටින්ග් පවසයි.
එක්සත් ජනපදය විසින් සම්බාධක පනවන ලද සමාගම්වලින් එකක් වන්නේ Trend GYO නමැති තුර්කි දේපළ වෙළෙඳාම් සමාගමකි. 2018 ලේඛනයේ, එය එම සමාගමේ පැරණි වෙළෙඳ නාමයක් වන Anda Turk ලෙස කිහිප වතාවක් සඳහන් කර තිබේ. එනම්, එය Trend ලෙස නම් කර ඉස්තාන්බුල් කොටස් හුවමාරුවට ඇතුළත් කිරීමට පෙර ය.
ඔක්තෝබර් 7 ප්‍රහාරය හෝ හමාස් සංවිධානය එය හඳුන්වන පරිදි, “ඔපරේෂන් අල්-අක්සා ෆ්ලඩ්”, මෑතකදී Trendහි හිටපු සභාපති හමීඩ් අබ්දුල්ලා අල්-අහ්මර් විසින් ප්‍රශංසාවට ලක් කරන ලදී. ඔහු 2022 වසරේදී සමාගමෙන් ඉවත් වූ නමුත් එහි මව් සමාගමේ ප්‍රධානියා ලෙස තවදුරටත් කටයුතු කරයි.
2024 ජනවාරි මාසයේ ඉස්තාන්බුල්හි පැවති සම්මන්ත්‍රණයකදී ඔහු මෙසේ පවසන අයුරු රූගත විය: “අපි හම්බවෙන්නේ… ආදරණීය පලස්තීනයේ වාඩිලාගෙන සිටින ඊශ්‍රායල හමුදා පරාජය කරන තුරු නොනවතින මහා බලවේගයක්, අල්-අක්සා ෆ්ලඩ් එහි උච්චතම අවස්ථාවට පැමිණ ඇති වෙලාවක.”
“සියොන්වාදය ජාතිවාදී සහ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ලෙස නම් කිරීමට නීති සම්පාදනය සඳහා කටයුතු කරන ලෙස” ඔහු සමුළුවෙන් ඉල්ලා සිටියේ ය.
පැනොරාමා අල්-අහ්මර් වෙත ලියූව ද ඊට පිළිතුරු නොලැබිණි.
Trend සමාගම අප හා පැවසුවේ, සමාගම සහ හමාස් සංවිධානය අතර සම්බන්ධතා පිළිබඳ එක්සත් ජනපද භාණ්ඩාගාරය නගන චෝදනා “අසාධාරණ සහ පදනම් විරහිත” බව ය.
තුර්කි බලධාරීන් පවසා ඇත්තේ, ඔවුන් Trend සමාගම සම්බන්ධයෙන් විමර්ශනය කර ඇති අතර එය “අපගේ ජාතික මූල්‍ය පද්ධතිය අවභාවිත කිරීමක්” සිදු කර නොමැති බවට සොයා ගත් බව ත් තුර්කිය ජාත්‍යන්තර මූල්‍ය නීතිවලට අනුකූලව කටයුතු කරන බව ත් ය.
කෙසේ වෙතත්, හමාස් සංවිධානයට වෙනත් විවිධ දිගුකාලීන මූල්‍ය මූලාශ්‍ර ද තිබී ඇත.
එම සංවිධානය වෙනුවෙන් මුල් කාලයේදී අරමුදල් රැස් කළ ඉතා වැදගත් පුද්ගලයින්ගෙන් එක් අයෙකු වූයේ දැන් ගාසා තීරයේ හමාස් දේශපාලන අංශයේ ප්‍රධානියා වන යෙහ්යා සින්වර් ය. ඊශ්‍රායලයට අනුව, ඔහු ඊශ්‍රායල සිර මැදිරියක සිටියදී හමාස් සංවිධානය වෙනුවෙන් අරමුදල් රැස් කිරීම ආරම්භ කළේ ය. 1988 වසරේදී සින්වර් ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැක කළ පලස්තීන ජාතිකයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිරගත කෙරිණි.
හිටපු ඊශ්‍රායල ආරක්ෂක ඒජන්සි නිලධාරියෙකු වන මයිකා කෝබි පවසන්නේ, ඔහු පැය 150කට වැඩි කාලයක් සින්වර්ගෙන් ප්‍රශ්න කළ බව ය. සිරගෙදර සිට රහසිගත පණිවිඩ යැවීමෙන් ඉරානය සමග සම්බන්ධතා ඇති කර ගැනීමට සින්වර් සමත් වූ බව ඔහු පැවසීය.
2007 වසරේදී, හමාස් සංවිධානය බලයට පත් වී වසරකට පසුව, ඊශ්‍රායලය සහ එහි අසල්වැසි ඊජිප්තුව ගාසා තීරය තුළට ඇතුළු වීම සහ ඉන් පිටවීමට තිබුණු අවහිරය දැඩි කළේ, ඔවුන් තම ආරක්ෂාව ගැන සැලකිලිමත් වන බව පවසමිනි. කෝබි පැවසුවේ, සින්වර්ගේ ඉරාන සම්බන්ධතා එම අවහිරයෙන් රිංගා යාමට ඔහුට උපකාර වූ බව ය.
“ඔහු සබඳතා පටන් ගන්න ඉරානයට පණිවිඩකරුවන් යැව්වා. ඔහු ඔවුන්ට කිව්වා එවන්න කියලා… අවි ආයුධ. ඔවුන්ට [හමාස්] අවශ්‍ය සෑම දෙයකට ම උදව් කරන්න ඔවුන් එකඟ වුණා.
“ඒක තමයි පටන් ගැන්ම.”
හිටපු මොසාඩ් නිලධාරියෙකු වන උඩී ලෙවීට අනුව හමාස් සංවිධානය සඳහා මුදල් ගල්ෆ් රාජ්‍යයක් වන කටාර් වෙතින් ද ප්‍රසිද්ධියේ මෙන් ම රහසිගතව පැමිණ තිබේ.
ඊශ්‍රායලය පිළිගෙන ඇත්තේ, එම මුදල්වලින් කොටසක් තම ආශිර්වාදය ඇතිව අත්පිට මුදල් වශයෙන් ලබා දුන් බව ය. එය හමාස් රජයේ නිලධාරීන්ගේ වැටුප් ගෙවීමට සහ ගාසා තීරයේ ජනතාවට මානුෂීය සහයෝගය ලබා දීමට වෙන් කෙරිණි.
“කටාර් රාජ්‍යයට හිටියා හැම මාසෙක ම සූට්කේස් එකක් අරගෙන රෆා වෙත පෞද්ගලික ජෙට් එකකින් ඇවිල්ලා ගාසා තීරය වෙත ඇතුළු වෙලා ඒක හමාස් සංවිධානය වෙත දීලා, ආයුබෝවන් කියාලා යන විශේෂ නියෝජිතයෙක්, ඕක තමයි උණේ.”, ලෙවී පැවසීය.
ඔහු පැනොරාමා වෙත පවසා ඇත්තේ, “මෙම මුදලින් සැලකිය යුතු කොටසක්” “හමාස් සංවිධානයේ හමුදා හස්තයට සහය වීමට” යොදා ගත් බවට තමා විශ්වාස කරන බව ය.
එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, යුරෝපා සංගමය, බටහිර ඉවුරේ පලස්තීන අධිකාරිය සහ බොහෝ පුණ්‍යායතන මගින් තවත් බිලියන ගණනක් ලබා දී ඇත. ඒ සියල්ල මානුෂීය අරමුණු සඳහා යොදා ගනු ඇතැයි අදහසිනි.
Rusiහි ටොම් කීටින්ග් එය, මෙම මුදල් හමාස් හමුදා අංශයට ලබා දෙන්නට ඇති බවට වන “සාධාරණ තක්සේරුවක්” ලෙස හඳුන්වයි.
හමාස් සංවිධානය මිලිටරි අරමුණු සඳහා පරිත්‍යාගවලින් ලද මුදල් කොපමණ ප්‍රමාණයක් යොදාගෙන [එවැන්නක් සිදුවී තිබී නම්] තිබේදැයි දැන ගැනීම අපහසු ය.
ආධාර මුදල් වෙනත් කටයුතු සඳහා යොදා ගත් බව ඔවුහු [හමාස්] ප්‍රතික්ෂේප කරති. හමාස් සංවිධානය පැනොරාමා වෙත පැවසුවේ, තම හමුදා අංශයට තමන්ගේ ම ආදායම් මාර්ග තිබුණු බව ය.
පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් තම විරුද්ධත්වය සහ එම උපායමාර්ගික අරමුණ හමාස් අරමුදල් පිළිබඳ තම ස්ථාවරය සමග සම්බන්ධ වූයේ කෙසේ ද යන්න පිළිබඳව ඊශ්‍රායල අගමැතිවරයා පැහැදලිව ප්‍රකාශ කර තිබේ.
2019 වසරේදී නෙතන්යාහු සිය පාලක ලිකුඩ් පක්ෂයේ සගයන්ට මෙසේ පැවසීය: “පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම වැළැක්වීමට අවශ්‍ය ඕනෑ ම කෙනෙකුට හමාස් සංවිධානය ශක්තිමත් කිරීමට සහ ඔවුන් වෙත මුදල් ලැබීමට සහය දිය යුතු යි… මේක අපේ උපායමාර්ගයේ කොටසක් – ගාසා තීරයේ ඉන්න පලස්තීනුවන් බටහිර ඉවුරේ පලස්තීනුවන්ගෙන් වෙන් කිරීමට.”
තම බටහිර ඉවුරේ ප්‍රතිවාදියා වන ෆටා සංවිධානයට ඵලදායී ප්‍රතිවාදියෙකු වීමට තරම් හමාස් සංවිධානය ශක්තිමත්ව තබා ගැනීම “ඔබට යම් ආකාරයක අවසාන විසඳුමක් සඳහා සාකච්ඡා කිරීමට සිදුවනු ඇති එක්සත් පලස්තීන නායකත්වයක්” ඇතිවීමේ හැකියාව වළක්වනු ඇතැයි, වොෂින්ටන් ඩීසීහි බුද්ධි මණ්ඩපයක් වන Middle East Instituteහි පලස්තීන සහ පලස්තීන-ඊශ්‍රායල් කටයුතු පිළිබඳ විශේෂඥයෙකු වන ඛාලිඩ් එල්ගිණ්ඩි පවසයි.
වඩාත් මෑතක දිනයකදී නෙතන්යාහු විසින් හමාස් සංවිධානය ගොඩනැගීමට තමාට අවශ්‍ය බවට පළ වූ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති අතර මානුෂීය අර්බුදයක් ඇතිවීම වැළැක්වීම සඳහා කටාර් මුදල් ගාසා තීරයට ඇතුළු වීමට පමණක් තමා අවසර දුන් බව කියා සිටියේ ය.
හමාස් සංවිධානය විනාශ කරන බවට නෙතන්යාහු දැන් සපථ කර ඇත. ත්රස්තවාදයට මුදල් සපයන “කිසිදු ප්‍රභවයක්” ගාසා තීරයේ නොමැති වේ යැයි ඔහු පවසයි.
එහෙත්, ගාසා තීරයේ විශාල ප්‍රමාණයක් විනාශ කිරීමෙන් සහ පලස්තීනුවන් විශාල ගණනක් මරා දැමීමෙන් ඊශ්‍රායලයට තම අරමුණට ප්‍රතිවිරුද්ධ ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇත.
“ඉරානය බොහෝ විට හමාස් සංවිධානයට සන්නද්ධ වීමට සහ මූල්‍යමය වශයෙන් සහය වේවි,” එල්ගිණ්ඩි පවසයි. “නමුත් ඊට ත් වඩා, හමාස් වැනි කණ්ඩායමකට ඒ ආයුධ සහ ඒ සම්පත් සහ ඒ හැකියාවන් ලබා ගන්න උත්සහ කරන්න හේතුවක් ඇති තාක් කල්, ඔවුන් ඒක කරාවි.
“මොක ද ඒක සාධාරණීකරණය කිරීම, ඒකට හේතු, තාමත් පවතින නිසා.”
(BBC සිංහල)