ඖෂධ සෑදීමට වසරකට බූරුවන් මිලියන ගණනක් මරා දමන බව ඔබ දන්නවා ද?

ජලය විකුණා තම ජීවනෝපාය පවත්වා ගෙන යාමේදී ස්ටීව් සම්පූර්ණයෙන් ම පාහේ රඳා පැවතියේ ඔහුගේ බූරුවන් මත ය. එම සතුන් ඔහුත් සමග ජලය පිරවූ කෑන් 20ක් පමණ පටවා තිබූ කරත්තය ඇදගෙන යමින්, ඔහුගේ සියලු ම ගනුදෙනුකරුවන් වෙත ගෙන ගියහ. නමුත් ස්ටීව්ගේ බූරුවන් හම් ලබා ගැනීම සඳහා සොරකම් කිරීමත් සමග ඒ සියල්ලට තිත තැබිණි.

එදින ආරම්හ වූයේ ද අනෙක් බොහෝ දවස් මෙනි. උදෑසන ම ඔහු නයිරෝබි නගරයට ආසන්නයේ පිහිටි තම නිවසින් පිටත් වී තම සතුන් රැගෙන ඒමට තණ බිම වෙත ගියේ ය.

“උන් මට පේන්න හිටියේ නැහැ,” ඔහු සිහිපත් කරයි. “මම දවස පුරා ම හෙව්වා, රෑ එළි වෙනකම් හොයලා, පහුවදා ත් හෙව්වා.” දින තුනකට පසු ඔහුට මිතුරෙකුගෙන් ඇමතුමක් ලැබුණේ, සතුන්ගේ ඇටසැකිලි තමාට හමු වූ බව පවසමිනි. “උන්ව මරලා දාලා, හම හොයා ගන්න තිබුණේ නෑ.”

මෙවැනි බූරු සොරකම් අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන අතර ලොව අනෙක් ප්‍රදේශවල මෙම වැඩ කරන සත්වයෝ විශාල වශයෙන් සිටිති. ස්ටීව් සහ ඔහුගේ බූරුවන්, බූරු හම් අලෙවි කෙරෙන ගෝලීය වෙළෙඳාමක ගොදුරු බවට පත්ව තිබේ.

A worker carries a donkey skin at a slaughterhouse in Kenya
ඡායාරූප ශීර්ෂ වැකිය,අප්‍රිකාව පුරා බූරුවන් ඝාතනය සහ හම් අපනයනය තහනම් කිරීමට නියමිතය

එහි මූලාරම්භය කෙන්යාවේ ස්ටීව්ගේ බූරුවන් සිටි තෘණ බිමේ සිට සැතපුම් දහස් ගණනක් ඈතට විහිද යයි. බූරු හමේ ඇති ජෙලටින්වලින් සාදන සාම්ප්‍රදායික ඖෂධයක් සඳහා චීනයේ ඇත්තේ ඉහළ ඉල්ලුමකි. එය එජියාඕ (Ejiao) ලෙස හඳුන්වයි.

එහි සෞඛ්‍යය යහපත් කරන සහ තරුණ බව රකින සංඝටක ඇති බවට විශ්වාස කෙරේ. ජෙලටින් නිස්සාරණය කිරීම සඳහා බූරු හම් තම්බා, කුඩු, පෙති හෝ දියර බවට පත් කර ආහාරවලට ද එකතු කරයි.

මෙම වෙළෙඳාමට එරෙහිව හඬ නගන්නන් පවසන්නේ, ස්ටීව් වැනි මිනිසුන් සහ ඔවුන් යැපෙන බූරුවන් එජියාඕ සෑදීම සඳහා අවශ්‍ය සම්ප්‍රදායික අමුද්‍රව්‍යයක් වෙනුවෙන් තිරසර නොවන ඉල්ලුමකට ගොදුරු වන බව ය.

නව වාර්තාවක, 2017 සිට මෙම වෙළෙඳාමට එරෙහිව හඬ නගා ඇති ‘Donkey Sanctuary’ නම් සංවිධානය ඇස්තමේන්තු කර ඇත්තේ, ගෝලීය වශයෙන් අවම වශයෙන් බූරුවන් මිලියන 5.9ක් සෑම වසරක ම ඒවා සැපයීම සඳහා මරා දමන බව ය. එම සංඛ්‍යා ස්වාධීනව තහවුරු කර ගැනීමට බීබීසීයට නොහැකි වුව ද ඉල්ලුම වැඩිවෙමින් පවතින බවට ඔවුහු පවසති.

එජියාඕ කර්මාන්තය සඳහා සැපයීමට කොපමණ බූරුවන් ගණනක් මරා දමනවා ද යන්න පිළිබඳ නිවැරදි චිත්‍රයක් ලබා ගැනීම ඉතා අපහසු ය.

ඡායාරූප ශීර්ෂ වැකිය,එජියාඕ යනු ආහාර, දියර හෝ පෙති ආකාරයෙන් එන පැරණි කෙමකි

In Africa, where about two-thirds of the world’s 53 million donkeys live, there is ලෝකයේ බූරුවන් මිලියන 53න් තුනෙන් දෙකක් පමණ ජීවත් වන අප්‍රිකාවේ, මෙය නියාමනය කිරීම සඳහා නිශ්චිත නීති මාලාවක් නොමැත. ඇතැම් රටවල බූරු හම් අපනයනය නීත්‍යනුකූල වන අතර තවත් රටවල නීති විරෝධී ය. නමුත් ඉහළ ඉල්ලුම සහ හම් සඳහා ඉහළ මිල ගණන් නියම වීම බූරුවන් සොරකම් කිරීමට හේතු වන අතර, ‘Donkey Sanctuary’ සංවිධානය පවසන්නේ, ඒවා වෙළෙඳාම් කිරීම නීත්‍යනුකූලව පවතින ස්ථාන වෙත ළඟා වීමට එම සතුන් ජාත්‍යන්තර දේශසීමා හරහා ගෙන යන බවට සොයාගෙන ඇති බව ය.

කෙසේ වෙතත්, සෑම අප්‍රිකානු ප්‍රාන්ත රජයක් ම සහ බ්‍රසීල රජය තම බූරු ගහනය අඩුවීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් එම සතුන් ඝාතනය තහනම් කිරීමට සූදානම් වන බැවින් මෙය ඉක්මනින් වෙනස් වීමට ඉඩ තිබේ.

‘Donkey Sanctuary’ සංවිධානය වෙනුවෙන් සේවය කරන නයිරෝබිහි සිටින සොලමන් ඔනියොන් පවසන්නේ: “2016 සහ 2019 අතර කාලයේදී, අපි ඇස්තමේන්තු කරන්නේ, කෙන්යාවේ බූරුවන්ගෙන් අඩක් විතර [සම් වෙළෙඳාමට සැපයීම සඳහා] ඝාතනය කරලා තියෙනවා කියලා.”

මෙම සතුන් මිනිසුන්, භාණ්ඩ, ජලය සහ ආහාර රැගෙන යාමට භාවිත කරන අතර දුප්පත්, ග්‍රාමීය ජනතාවගේ කොඳු නාරටි ද වෙති. එබැවින් සම් වෙළෙඳාමේ පරිමාණය සහ වේගවත් වර්ධනය, ඊට එරෙහිව හඬ නගන්නන් සහ විශේෂඥයින් කලබලයට පත් කර ඇති අතර, කෙන්යාවේ බොහෝ මිනිසුන් පවා මෙම සම් වෙළෙඳාමට එරෙහිව දියත් කෙරෙන විරෝධතාවලට සහභාගී වීමට පෙළඹී ඇත.

දින නියමයකින් තොරව අප්‍රිකාව පුරා [මෙම සම් වෙළෙඳාම] තහනම් කරන ලෙසට වන යෝජනාවක් පෙබරවාරි 17 සහ 18 යන දිනවල ලොව සියලු ම රාජ්‍ය නායකයින් රැස්වන අප්‍රිකානු සංගමයේ සමුළුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබිණි.

ඡායාරූප ශීර්ෂ වැකිය,අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ බූරුවෙකු යනු සමහර පවුල්වල ජීවනෝපාය සහ අසරණභාවය අතර වෙනසක් ලෙස හඳුන්වාලිය හැකි බවය.

අප්‍රිකාව පුරා පැනවිය හැකි මෙම තහනම ගැන ආවර්ජනය කරමින්, ස්ටීව් පවසන්නේ, එය සතුන් ආරක්ෂා කිරීමට උපකාරී වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ය, “නැත්නම් ඊළඟ පරම්පරාවට බූරුවෝ නැති වේවි.”

නමුත් අප්‍රිකාව පුරා සහ බ්‍රසීලයේ එය තහනම් කිරීමෙන් මෙම වෙළෙඳාම වෙනත් තැනකට ගෙන යාම සිදු විය හැකි ද?

එජියාඕ නිෂ්පාදකයෝ චීනයෙන් ලබා ගත් බූරුවන්ගේ හම් භාවිත කිරීමට පුරුදුව සිටියහ. එහෙත්, එහි කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යංශයට අනුව, 1990 වසරේදී මිලියන 11කව පැවති වූ එරට බූරුවන් සංඛ්‍යාව 2021 වන විට මිලියන දෙකකටත් අඩු අගයක් දක්වා පහත වැටී ඇත. ඒ අතර ම, එජියාඕ සුඛෝපභෝගී භාණ්ඩයක් නොවී ජනප්‍රිය, පුළුල් ලෙස පවතින නිෂ්පාදනයක් බවට ද පත් විය.

ඒත් සමග ම චීන සමාගම් ඔවුන්ට අවශ්‍ය සම් සපයා ගැනීමට විදේශ රටවල් වෙත ගියේ ය. බූරු ඝාතකාගාර අප්‍රිකාව, දකුණු අමෙරිකාව සහ ආසියාවේ ඇතැම් ප්‍රදේශවල ස්ථාපනය කෙරිණි.

මෙය, මෙම වෙළෙඳාම සම්බන්ධයෙන් අප්‍රිකාවේ දරුණු කඹ ඇදිල්ලකට තුඩු දුන්නේ ය.

ඡායාරූප ශීර්ෂ වැකිය,ගල්වළක කරත්තයක් අදින බූරුවෝ

බූරු මස් පරිභෝජනය තහනම් කර ඇති ඉතියෝපියාවේ, මහජන විරෝධතා සහ සමාජ මාධ්‍ය හරහා එල්ල වුණු විරෝධය හමුවේ රටේ බූරු ඝාතකාගාර දෙකෙන් එකක් 2017 වසරේදී වසා දමන ලදී.

ටැන්සානියාව සහ අයිවරි කෝස්ට් ඇතුළු රටවල් 2022 වසරේදී බූරුවන් ඝාතනය කිරීම සහ සම් අපනයනය කිරීම තහනම් කළ නමුත් චීනයේ අසල්වැසි පකිස්ථානය මෙම වෙළෙඳාම වැළඳ ගෙන සිටී. පසුගිය වසරේ අගභාගයේදී, මාධ්‍ය වාර්තා මගින් “හොඳ වර්ගයේ සතුන්” ඇති කිරීම සඳහා ස්ථාපනය කළ එරට පළමු “නිල බූරු අභිජනන මධ්‍යස්ථානක්” පිළිබඳ දැඩි උද්යෝගයකින් යුතුව කතා කළේ ය.

ඒ වගේ ම එය මහා පරිමාණ ව්‍යාපාරයකි. සිඩ්නි විශ්වවිද්‍යාලයේ චීන-අප්‍රිකා සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ලෝරන් ජොන්ස්ටන්ට අනුව, චීනයේ එජියාඕ වෙළෙඳපොළේ වටිනාකම 2013 වසරේදී ඩොලර් බිලියන 3.2 (පවුම් බිලියන 2.5) සිට 2020 වසරේදී ඩොලර් බිලියන 7.8 දක්වා ඉහළ ගොස් තිබේ.

එය මහජන සෞඛ්‍ය නිලධාරීන්, සත්ව ශුභසාධන කටයුතුවල යෙදෙන්නන් සහ ජාත්‍යන්තර අපරාධ විමර්ශකයන්ගේ පවා කනස්සල්ලට හේතු වී ඇත. වෙනත් නීතිවිරෝධී වනජීවී නිෂ්පාදන ප්‍රවාහනය කිරීම සඳහා බූරු හම් යොදා ගන්නා බවට පර්යේෂණයකින් හෙළි වී තිබේ. එම වෙළෙඳාම සඳහා ජාතික වශයෙන් තහනමක් පැනවීම එය තවදුරටත් හොර රහසේ සිදුවනු ඇතැයි බොහෝ දෙනා කනස්සල්ලට පත්ව සිටිති.

රාජ්‍ය නායකයන් සඳහා යොමු වන මූලික ප්‍රශ්නය තිබේ: සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයකට බූරුවන් වඩා වටින්නේ මරණයට පත් වුවහොත් ද ජීවත්ව සිටියහොත් ද?

ඡායාරූප ශීර්ෂ වැකිය,සම් වෙළඳාමට එරෙහි පිරිස් පවසන්නේ එය අමානුෂික බවය.

“මගේ සමාජේ ඉන්න බොහෝ මිනිස්සු කුඩා පරිමාණයේ ගොවීන්. ඔවුන් තමන්ගේ භාණ්ඩ විකුණන්නේ භාවිත කරන්නේ බූරුවෝ,” ස්ටීව් පවසයි. ඔහු වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අවශ්‍ය පාසල් ගාස්තු ගෙවීමට ජලය විකුණා මුදල් ඉතිරි කරමින් සිටියේ ය.

‘Donkey Sanctuary’ සංවිධානයේ ප්‍රධාන පශු වෛද්‍යවරයා වන ෆෙයිත් බර්ඩන් පවසන්නේ, මෙම සතුන් ලෝකයේ බොහෝ ප්‍රදේශවල ග්‍රාමීය ජීවිතයට “ස්වභාවයෙන් ම බද්ධ වී ඇති” බව ය. ඔවුන් ශක්තිමත්, අනුවර්තනය විය හැකි සතුන් වේ. “බූරුවෙකුට පැය 24ක් විතර ජලය නොබී ඉඳලා කිසි ම ගැටලුවක් නැතිව හරි ඉක්මනින් සජලනය වෙන්න පුළුවන්.”

ඒ සියලු ගුණාංග තිබුණ ද බූරුවන් පහසුවෙන් හෝ ඉක්මනින් බෝ නොවේ. එබැවින් මෙම වෙළෙඳාම සීමා නොකළහොත්, දුප්පතුන්ට ජීවන මාර්ගයක් සහ සහකරුවෙකු අහිමි කරමින් බූරු ගහනය දිගින් දිගට ම පහට වැටෙනු ඇතැයි ක්‍රියාකාරීහු බියෙන් පසු වෙති.

ඔනියොන් මහතා පැහැදිලි කරයි: “අපි කවදාවත් සමූහ වශයෙන් ඝාතනය කරන්න අපේ බූරුවන් ඇති කළේ නැහැ.”

මහාචාර්ය ජොන්ස්ටන් පවසන්නේ, සහස්‍ර ගණනාවක් තිස්සේ බූරුවන් “දුප්පතුන්ගේ බර රැගෙන ගිය” බව ය. “උන් දරුවන්, ගෑනු අය අරන් යනවා. ජේසු බිළිඳා කුසේ ඉන්න කොට මරියා මව්තුමිය පවා උන් අරන් ගියා,” ඇය පවසයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,වෙළෙඳාම සීමා නොකළහොත් ඊළඟ පරම්පරාවට බූරුවෙකු නොලැබේ යැයි ඇතැමුන් කනස්සල්ලට පත්ව සිටිති

සතෙකු අහිමි වූ පසුව සිදුවන පාඩුවේ බර උසුලන්නේ කාන්තාවන් සහ ගැහැනු දරුවන් බව ඇය තවදුරටත් පවසයි. “බූරුවෙක් නැති වුණා ම, සාමාන්‍යයෙන් ආයෙත් කාන්තාව තමයි බූරුවා වෙන්නේ,” ඇය පැහැදිලි කරයි. එහි කටුක උත්ප්‍රාසයක් රසයක් ඇති බව හැඟෙන්නේ, එජියාඕ මූලික වශයෙන් ධනවත් චීන කාන්තාවන්ට අලෙවි කරන නිසා ය.

එය වසර දහස් ගණනක් පැරණි කෙමක් වන අතර, එහි රුධිරයේ ගුණාත්මක බව ඉහළ නංවමින් නින්දට සහ සරු බව වැඩි කිරීම ආදී ප්‍රතිලාභ රාශියක් ඇතැයි විශ්වාස කෙරේ. නමුත් මෙම කෙම් ක්‍රමය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වීම ඇරඹුණේ, 2011 වසරේදී විකාශය කෙරුණු අධිරාජ්‍යයක අධිකරණයක් පිළිබඳ ප්‍රබන්ධ කතාවක් වටා ගෙතුණු චීන රූපවාහිනී වැඩසටහනක් වන ‘Empresses in the Palace’ හරහා ය.

“හරි ම දක්ෂ ලෙස ඒ නිෂ්පාදනය ස්ථානගත කිරීමක් ඒක,” මහාචාර්ය ජොන්ස්ටන් පැහැදිලි කරයි. “ඒ වැඩසටහනේ ඉන්න කාන්තාවන් ලස්සනට වගේ ම සෞඛ්‍ය සම්පන්නව ඉන්න, සම සඳහා සත්කාරයක් විදිහටත්, සරු බව වැඩි කරගන්නත් හැමදා ම එජියාඕ පාවිච්චි කරනවා. හාස්‍යයට කරුණක් තමයි, ඒක දැන් අප්‍රිකානු කාන්තාවන් බොහෝ දෙනෙකුගේ ජීවිත විනාශ කරන එක.”

24 හැවිරිදි ස්ටීව් කනස්සල්ලට පත්ව සිටින්නේ, ඔහුගේ බූරුවන් අහිමි වීමත් සමග ඔහුගේ ජීවිතය සහ ජීවනෝපාය තම පාලනයෙන් ගිලිහී යාම ය. “මම දැන් අතරමං වෙලා” ඔහු පවසයි.

නයිරෝබිහි ප්‍රාදේශීය සත්ව ශුභසාධන පුණ්‍යායතනයක් සමග කටයුතු කරමින් බෲක් නමැති පුණ්‍යායතනය ස්ටීව් වැනි තරුණ තරුණියන් සඳහා රැකියාවට සහ අධ්‍යාපනයට ප්‍රවේශ වීමට අවශ්‍ය බූරුවන් සොයා ගැනීමට කටයුතු කරයි.

‘Donkey Sanctuary’ සංවිධානයේ ජැනෙකි මර්ක්ස් පවසන්නේ, තම බූරුවන් ආරක්ෂා කිරීම සඳහා නීති සම්පාදනය කරන රටවල් වැඩි වන තරමට “එය වඩා ත් දුෂ්කර වනු ඇති බව” ය.

ඡායාරූප ශීර්ෂ වැකිය,ජනනෙක් මර්ක්ස් ඩෙවොන් හි අභයභූමියක බූරුවෙකු සමඟ සිටින අයුරු

“අපි දකින්න කැමති දේ තමයි එජියාඕ සමාගම් එක්ව බූරු හම් ආනයනය කිරීම නවතා තිරසර විකල්ප සඳහා ආයෝජනය කිරීම,” – සෛල භාවිත කරලා කෘෂිකර්මාන්ත කටයුතු කරනවා වගේ (පරීක්ෂණාගාරවල කොලජන් නිෂ්පාදනය කිරීම). ඒක කරන්න දැනටමත් ආරක්ෂිත සහ ඵලදායී ක්‍රම තියෙනවා.”

‘Donkey Sanctuary’හි නියෝජ්‍ය ප්‍රධාන විධායක ෆෙයිත් බර්ඩන් බූරු හම් වෙළඳාම හඳුන්වන්නේ “තිරසර නොවන සහ අමානුෂික දෙයක්” ලෙස ය.

“උන්ව සොරකම් කරලා, සැතපුම් සිය ගණනක් අවිද්දවලා, හරියට ඉඩක් නැති, බූරුවෝ විශාල ගණනක් ඉන්න තැනක තියලා, අනෙක් උන්ටත් පේන්න මරලා දානවා,” ඇය පවසයි. “මේ දේට විරුද්ධව කතා කරන්න ඔවුන්ට අපිව ඕනේ.”

ඡායාරූප ශීර්ෂ වැකිය,ස්ටීව්ට දැන් අලුත් බූරුවෙකු සිටින අතර එය ඔහුගේ සිහින සැබෑ කර ගැනීමට උපකාරී වනු ඇත

බෲක් සංවිධානය දැන් ස්ටීව්ට අලුත් බූරුවෙකු ලබා දී ඇත. එම ගැහැනු සත්වයාට ඔහු නම් තබා ඇත්තේ, ‘Joy Lucky’ ලෙසිනි. ඒ, ඔහුට ඇය ලැබීම වාසනාව සහ සතුට ගෙන දුන් බව දැනුනු නිසා ය.

“මට මගේ හීනවලට යන්න ඇය උදව් කරාවි කියලා මම දන්නවා,” ඔහු පවසයි. “ඒ වගේ ම ඇයව පරිස්සම් කරගන්න මම පුළුවන් උපරිම දේ කරනවා.”

(BBC සිංහල)

Exit mobile version