ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන (NGO) සම්බන්ධයෙන් විවිධ පාර්ශවවල මිශ්‍ර අදහස් පවතී.
ඇතැමෙකු රාජ්‍ය නොවන සංවිධාන යනු ‘සල්ලි හම්බ කරන ව්‍යාපාරයක්’ බවට චෝදනා කරන අතර, ඇතැමෙකු පවසන්නේ, ‘ශ්‍රී ලංකාවේ රජයට ඉටු කළ නොහැකි වගකීම් රැසක් රාජ්‍ය නොවන සංවිධානය විසින් ඉටු කරනු ලබන’ බව ය.
විවිධ කාලවලදී රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය පිළිබඳව විවිධ අදහස් මතු වෙයි. බොහෝ විට රාජ්‍ය නොවන සංවිධානවලට එරෙහිව මත ඉදිරිපත් වුව ද, මෙවර රාජ්‍ය නොවන සංවිධාන රජයේ ක්‍රියාකලාපය කෙරෙහි විරෝධය පළ කරමින් සිටී.
ඒ, රජය ගෙන ඒමට සැරසෙන ‘රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම සහ සුපරීක්ෂණය කිරීමේ පනත් කෙටුම්පත’ට එරෙහිව ය.
රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කිරීම
‘රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම සහ සුපරීක්ෂණය කිරීමේ පනත් කෙටුම්පත’ පිළිබඳව දැනුවත් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන සමූහය නියෝජනය කරන සාමාජිකයින් පිරිසක් සහ රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලය අතර හමුවක් ජනවාරි 30 වන දා පැවැත්විණි.
ඊට රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න ඇතුළු පිරිසක් සහ රාජ්‍ය නොවන සංවිධාන සමූහය නියෝජනය කරමින් දිස්ත්‍රික්ක 6ක සාමාජිකයින් 12 දෙනෙක් ද සහභාගි වූහ.
අදාළ පනත් කෙටුම්පත ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් මහජනතාව වෙනුවෙන් ප්‍රසිද්ධියට පත් කරන ලෙස ඉල්ලා සිටිය ද, එය ඉටු නොවූ බව රාජ්‍ය නොවන සංවිධාන සමූහය චෝදනා කරයි.
කෙසේ වෙතත්, සාකච්ඡාව අතරතුර අදාළ කෙටුම්පතේ ඉංග්‍රීසි පිටපතක් ලබා දී තිබිණි.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බීබීසී සිංහල සේවයට පැවසුවේ, එම කෙටුම්පත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා ඉංග්‍රීසි බසින් සකස් කර ඇති අතර, සිංහල හා දෙමළ පරිවර්තන සකස් කළ හැක්කේ, නීතිපතිවරයාගේ අනුමැතිය ලැබුණු පසු බව ය.
‘අපි සීයට ලක්ෂ වාරයක් විරුද්ධ යි’
රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම සහ සුපරීක්ෂණ පනත් කෙටුම්පතට “සීයට ලක්ෂ වාරයක් විරුද්ධ” බව රාජ්‍ය නොවන සංවිධාන සමූහය නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණය අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක බීබීසී සිංහල සේවයට පැවසීය.
“මේක හුදෙකලා සිදුවීමක් නෙවෙයි. ඔන්ලයින් පනත, සේෆ්ටි බිල් සෑහෙන සංඛ්‍යාවක් දැන් පනත් ගේනවා නේ. මේකත් එක්තරා ආකාරයක ඒකෙ ම දිගුවක්. අපේ ජනාධිපතිතුමාට මුළු ජීවිත කාලය පුරා ම තියෙන්නේ, මහජන ඡන්දයෙන් තේරී පත්වීම පිළිබඳ විශ්වාසයක් නෙවෙයි, එතුමාට තියෙන්නේ. එතුමාට තියෙන්නේ බොහෝ කෙටි මාර්ගවලින් බලයට පත්වීමේ අත්හදාබැලීමේ උත්සහයක්. මෙතනදිත් එතුමා සහ එතුමාට හිතවාදී පාර්ශව හිතනවා මේ නිහඬ කරවීම්වලින් ජයග්‍රහණයක් ලබන්න පුළුවන් කියලා. NGO කියන්නේ විශාල ක්ෂේත්‍රයක්. ආයතන 20000ක් විතර තියෙනවා. සල්ලි ගොඩාක් එනවා. ඉතින් ආණ්ඩුවට හිතවත් පුද්ගලයින්ට හිතෙනවා, සල්ලි ප්‍රවාහයක් ගලාගෙන යනවා නම් වේල්ලක් බැඳලා හරි ජලය විකුණලා හරි එහෙම හරි කරන්න. ඒ නිසා ඒ අය හිතනවා, මේකෙන් ලොකු වාසියක් ගන්න පුළුවන් කියලා. ඒ පදනම යටතේ, මේක පාලනය කරන්න ඔවුන් කැමතියි. ඒ හරහා වරප්‍රසාද ලබා ගන්න අදහස් කරනවා. ඒ නිසා සීයට ලක්ෂ වාරයක් අපි මේ පනත් කෙටුම්පතට විරුද්ධ යි.”
ඔහු පැවසුවේ, මේ වන විටත් රාජ්‍ය නොවන සංවිධාන රැසක මූල්‍ය කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව හරහා අධීක්ෂණය වන බව ය.
කෙසේ වෙතත්, ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගැටලු පවතින බව තමන් පිළිගන්නා බවත් මංජුල ගජනායක පැවසීය.
“හැම තැනක ම වගේ සමහර රාජ්‍ය නොවන සංවිධාන ඇතුළේත් හොරකම් සිද්ධ වෙනවා. සමහර සංවිධාන තියෙනවා පවුලේ කට්ටියක් පාලනය කරන. ඒවා තුළ හොරකම් සිද්ධ වෙනවා. මුදල් අවභාවිත වෙනවා. හැබැයි ඒවා නවත්වන්න කළ යුත්තේ, මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කරන එක යි. එහෙම නොකර රාජ්‍ය නොවන සංවිධාන පාලනය කරලා, නිහඬ කරලා වාසියක් ගන්න හිතනවා නම් ඒක ඉතා ම වැරදි යි.”
“ශ්‍රී ලංකාව මේ තරමටවත් ඔළුව උස්සන් ඉන්නේ, රාජ්‍ය නොවන සංවිධාන නිසා. අපි කොයිතරම් ජනතා ප්‍රශ්නවලට මැදිහත් වෙලා සහන සලසලා තියෙනවා ද?,” මංජුල ගජනායක පෙන්වා දුන්නේ ය.
‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පදනම් ටික නියාමනය කරන්න’
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන් ම, පළාත් සභා, ප්‍රාදේශීය සභා ආදී මන්ත්‍රීවරුන් ආදී දේශපාලනඥයින් පිහිටුවා ඇති විවිධ ‘පදනම්’ ද රාජ්‍ය නොවන සංවිධාන බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණය අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පෙන්වා දුන්නේ ය.
“ඒ සංවිධානවල පාවිච්චි කරන්නේ පොදු මුදල්. ඒ මුදල් ඒ අයගේ පෞද්ගලික මුදල් නෙවෙයි. නමුත්, ඒවා පාලනය කරන්නේ පවුලේ ම උදවිය. ඒ සියල්ල නියාමනය කළ යුතු යි. ඒවා නියාමනය නොකිරීමෙන් අයථා මුදල් භාවිතයන් විශාල වශයෙන් සිද්ධ වෙනවා.”
රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අදහස
රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ සහ සුපරීක්ෂණය කිරීමේ පනත් කෙටුම්පත සකස් කරන ලද්දේ, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්ගේ ම අදහස් සැලකිල්ලට ගනිමින් බව රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න පැවසීය.
“අපි මේ කෙටුම්පත සම්පාදනය කළේ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්ගේ ම අදහස් අරගෙන. 1980 වසරේ තමයි මේ පනත ආවේ. ඒ පනතේ තිබුණ නුසුදුසු කොටස් ගොඩක් අයින් කරලා වඩාත් නම්‍යශීලී විදිහට තමයි මේ පනත් කෙටුම්පත අපි සකස් කළේ. උදාහරණයක් විදිහට ඇමතිවරයාට දී තිබුණ බලතල පවා අයින් කරලා නිසි බලධාරියෙක් පත් කරන්න මේ කෙටුම්පතෙන් යෝජනා කරලා තියෙනවා. අපි කෙටුම්පතේ පිටපත් අදාළ පාර්ශවවලට ලබා දීලා තියෙනවා. ඒක හරියට අධ්‍යයනය කරලා තමන්ගේ මතය ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.”
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන
මේ වන විට ශ්‍රී ලංකාව තුළ විවිධ රාජ්‍ය නොවන සංවිධාන 38,000කට අධික සංඛ්‍යාවක් පවතින බව රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලය පවසයි.
එහෙත්, මේ දක්වා එහි ලිංපදිංචි වී ඇත්තේ, රාජ්‍ය නොවන සංවිධාන 1783ක් පමණි.
ආසියානු සංවර්ධන බැංකුව පවසන පරිදි, වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධාන බහුතරයක අවධානයට ලක්ව ඇත්තේ, දිළිඳුභාවය තුරන් කිරීම හා තිරසර සංවර්ධනය, පරිසර සංරක්ෂණය හා හරිත තාක්ෂණය, සෞඛ්‍යය හා සනීපාරක්ෂාව, අධ්‍යාපනය හා පුහුණු කිරීම්, පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණය, මානව හිමිකම් හා සාමය, යුද්ධ කම්පන, ආපදා කළමනාකරණය, ග්‍රාමීය සංවර්ධනය, මුඩුක්කු හා පැල්පත් ආශ්‍රිත ප්‍රජා සංවර්ධනය, සමාජ යටිතල පහසුකම් සංවර්ධනය, ණය හා සේවා සංවිධානය, ප්‍රජා මට්ටමේ නායකත්වය ගොඩනැංවීම, ආගමික ප්‍රචාරණය, කාන්තා හිමිකම්, ළමා හිමිකම් ආදී ක්ෂේත්‍රයන් ය.
ජාත්‍යන්තර, ජාතික, ප්‍රාදේශීය සහ ග්‍රාමීය මට්ටමෙන් ක්‍රියාත්මක විවිධ ආකාරයේ රාජ්‍ය නොවන සංවිධාන පවතී.
ඊට අමතරව, දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින් ඇතුළු පාර්ශව පිහිටුවා ගත් විවිධ ‘පදනම්’ ක්‍රියාත්මක වෙයි.
රාජ්‍ය නොවන සංවිධානවල ඉතිහාසය
ශ්‍රී ලංකාවේ මුල් ම රාජ්‍ය නොවන සංවිධාන ලෙස සැලකෙන්නේ, 19 වන ශත වර්ෂයේ ක්‍රිස්තියානි දූත මෙහෙයන්වලට අනුබද්ධ වූ සර්ව-සභා සංවිධාන බව ඉන්දියාවේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය සසංක පෙරේරා විසින් සම්පාදනය කරන ලද ‘Non Government Organizations in Sri Lanka: The Dynamics, the Impact, the Rhetoric and the Politics.’ නමැති පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් වේ.
1812 වසරේදී පිහිටුවන ලද, ලංකා බයිබල් සමාජය, 1858 වසරේදී පිහිටුවන ලද ක්‍රිස්තියානි සාහිත්‍ය සමාජය, 1882 වසරේදී පිහිටුවන ලද තරුණ ක්‍රිස්තියානි සංගමය ආදිය ඊට නිදසුන් වේ.
එම ව්‍යුහයන් ආදර්ශයට ගෙන බෞද්ධ, හින්දු, මුස්ලිම් ආගමික රාජ්‍ය නොවන සංවිධාන බිහි වූ බව ද මහාචාර්ය සසංක පෙරේරා පෙන්වා දී තිබේ.
1880 වසරේදී පිහිටවූ බෞද්ධ පරම විඥානාර්ථ සමාගම, 1890 වසරේදී පිහිටවූ මහාබෝධි සමාගම, 1898 වසරේදී පිහිටවූ තරුණ බෞද්ධ සංගමය ඊට උදාහරණ ලෙස දැක්විය හැකි ය.
මුල් කාලීනව ආගමික ඌරුවකින් නිර්මාණය වූ රාජ්‍ය නොවන සංවිධාන පසු කාලීනව ආර්ථික, දේශපාලන, මානව හිමිකම් ආදී විවිධ ක්ෂේත්‍ර ආශ්‍රිතව නිර්මාණය වන්නට විය.
රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් නීතිමය රාමුවක් සැකසීම
1980 වසරට පෙර ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය නියාමනය කිරීමට සහ පාලනය කිරීමට විශේෂ නියෝග හෝ රෙගුලාසි නොතිබිණි.
එකල, පනත් කීපයක් යටතේ, ලාබ නොලබන ආයතන ලෙස ලියාපදිංචි කිරීමට අවස්ථාව සැලසිණි. මේ වන විටත් එය ක්‍රියාත්මක වේ.
1980 වසරේදී රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම අනිවාර්ය කළ, ‘ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචිය හා අධීක්ෂණය) පනත පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී. කෙසේ වෙතත්, මේ වන තෙක් එය ප්‍රබලව ක්‍රියාත්මක නොවිණි.
වංචා හා මූල්‍ය අවභාවිතයන් කරන ලද රාජ්‍ය නොවන සංවිධාන සඳහා රජයෙන් පත් කරන ලද කළමනාකරණ මණ්ඩල ස්ථාපනය කිරීම සඳහා, 1980 පනත, 1998 අංක 8 දරන පනත මගින් සංශෝධනය කෙරිණි.
නැවත 1999 වසරේදී අංක 1 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන රෙගුලාසි ඊට එක් කරන ලදී.
සියලු ම රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කෙරුණේ එම රෙගුලාසි හරහා ය.
රාජ්‍ය නොවන සංවිධාන 5ක් සඳහා වසර 3කදී ලැබී තිබූ අරමුදල්
රාජ්‍ය නොවන සංවිධාන 5ක් සඳහා වසර 3කදී ලැබී තිබූ අරමුදල් පිළිබඳ විස්තරයක් 2015 වසරේ ජනවාරි මාසයේදී එවකට ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ධූරය දැරූ මනෝ ගනේෂන් ඉදිරිපත් කර තිබිණි.
එම විස්තරය අනුව, තොරතුරු ඉදිරිපත් කළ ආයතන කිහිපයකට ලැබී තිබූ වාර්ෂික අරමුදල්වල එකතු කළ අගයයන් මෙසේ ය.
2011 – රුපියල් 13,926,610,942.00 (රුපියල් මිලියන දහතුන් දහස් නමසිය විසි හයයි දශම හයයි එකයි)
2012 – රුපියල් 11,488,308,761.00 (රුපියල් මිලියන එකොළොස් දහස් හාරසිය අසූ අටයි දශම තුනයි බිංදුවයි අටයි)
2013 – රුපියල් 10,840,293,929.00 (රුපියල් මිලියන දහදහස් අටසිය හතළිහයි දශම දෙකයි නමයයි තුනයි)
(BBC සිංහල)