ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය: විදුහල්පති තනතුරු පිරිනමන්නේ ජාතිකත්වය හෝ ඇඳුම මත පදනම්ව ද?
මෙරට බොහෝ කතුන් මෙන් සාරිය හුරුදු පුරුදු ෆාතිමා විදුහල්පති විභාගයෙන් සමත්ව තම නව තනතුරේ රාජකාරි කිරීමට පාසලක් තෝරා ගැනීමේ කටයුතු ආදිය සඳහා යොමු වූයේ බලාපොරොත්තු රැසක් පොදි බැඳ ගෙන ය.
ෆාතිමා යනු, මෙහි සත්‍ය කතා නායිකාවගේ අනන්‍යතාව සුරැකීම සඳහා බීබීසී සිංහල අප භාවිත කරන අන්වර්ථ නාමයකි.
ඇයගේ බලාපොරොත්තු අතර තම වෘත්තීමය අභිවෘද්ධිය සාක්ෂාත් කර ගැනීම පමණක් නොව, රටේ අනාගතය භාර ගැනීමට සිටින දරුවන්ගේ නැණගුණ වර්ධනය කිරීමේ අරමුණ ද විය.
කෙසේ වෙතත්, එම සිතුවිලි මොහොතකට නතර කර දමන තරම් කම්පනයකට පත් කරන සිදුවීමක් එහිදී තමන්ට අත්විඳින්නට වනු ඇතැයි ඇය කිසි විටෙකත් නොසිතුවා ය.
“ඔයා සාරි අඳින නිසා මට ඕනේ තැනකට දාන්න පුළුවන්. හැබැයි මෙයා තමයි ප්‍රශ්නේ,” යැයි රාජ්‍ය ආයතන ප්‍රධානියෙක් ෆාතිමාගේ මිතුරිය පෙන්වා පැවසීය.
ෆාතිමා යනු, අධ්‍යාපන ක්ෂේත්රයේ වසර ගණනක පළ පුරුද්දක් ඇති, විවිධ වයස් මට්ටම්වල, විවිධ ජාතීන්වලට අයත් දරුවන් සිටින පාසල් කිහිපයක ම ඉගැන්වීම් කටයුතු කළ, සිංහල හා මුස්ලිම් යන සංස්කෘතීන් ද්විත්වය ම මිශ්‍ර පවුල් පසුබිමකින් පැවත එන, විවිධ ජාතීන්වලට අයත් දරුවන් සිටින පාසලක ද්විතීයික අධ්‍යාපනය ලැබූ, මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධිධාරිනියකි.
ෆාතිමා මුස්ලිම් ජාතික කාන්තාවක වුව ද රාජකාරි කටයුතු සඳහා ඇඳීමට ඇය තෝරා ගත්තේ සාරිය යි. ඇයගේ මිතුරිය ද මුස්ලිම් ජාතික කාන්තාවක වූ අතර, ඇය තෝරා ගෙන තිබුණේ, මුස්ලිම් ජාතික කාන්තාවන් නිතර අඳින දිගු ගවුම එනම්, අබායා ඇඳුම ය.
“ඔයාව කොහොමත් මුස්ලිම් එකකට තමයි දාන්න ඕන,” යැයි ෆාතිමාගේ මිතුරිය වෙත අදාළ ආයතන ප්‍රධානියා පැවසුවේ, ඇය තම සංස්කෘතියෙන් උරුම වූ අබායා ඇඳුම අඳින නිසා ය.
ෆාතිමා සඳහන් කළේ, ඔවුන් සිංහල මාධ්‍යයෙන් රාජකාරි කරන බැවින් සිංහල මාධ්‍යයට අදාළව විදුහල්පති පුරප්පාඩු පවතින පාසල් 10ක් තෝරා ගැනීමට අවස්ථාව ලැබුණු බව ය.
නමුත් අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානියා පැවසූ පරිදි, තම මිතුරියට තෝරා ගැනීමට ඇඳුමට ගැලපෙන සිංහල මාධ්‍ය පාසල් තිබී ඇත්තේ ඉතා සීමිත ගණනකි.
ඇයට ඒ සඳහා විකල්ප නොතිබුණු බැවින්, “පුරප්පාඩු නොමැති මුස්ලිම් පාසල් ද ඇතුළත් කළා,” යැයි ෆාතිමා බීබීසී සිංහල සේවය හා පැවසුවා ය.
ෆාතිමා පෙන්වා දෙන පරිදි මෙම ගැටලුවට වැඩි වශයෙන් මැදි වන්නේ, සිංහල මාධ්‍යයෙන් රාජකාරි කරන, ආබයා ඇඳුම අඳින මුස්ලිම් ජාතික කාන්තාවන් ය.
ඇය තම මිතුරිය අත්විඳි පීඩනයෙන් කම්පනයට පත්ව මෙසේ පැවසුවා ය.
“අපි අපේ රාජකාරිය ඉටු කරද්දී ඒ ළමයා සිංහල ද දෙමළ ද කියලා බලන්නේ නෑ. අපිට පුළුවන් උපරිම දෙන්න තමයි බලන්නේ, ඒ ළමයා මුස්ලිම් ළමයෙක් වුණත් සිංහල ළමයෙක් වුණත්.
දැන් අපි ඉස්කෝලේ යන කාලේ අපිටත් එහෙමනේ වුණේ. සිංහල ගුරුවරුන්ගෙනුත් අපි ඉගෙන ගත්තා නේ. දැන් මේ වගේ අවස්ථාවක මෙහෙම වෙන් කරලා සලකන එක නම් ඇත්තට ම දුකයි. මොක ද ඇඳුම නිසා අපිව මේ විදහට මනින එක ගැන.”
ඇය තව දුරටත් පෙන්වා දුන්නේ, පාසල් දරුවන්ගේ විෂය නිර්දේශවල ප්‍රාථමික අංශයේ සිට ම විවිධ ජාතීන්වලට අයත් ප්‍රජාවගේ ආහාර පාන, ඇඳුම් පැළඳුම් ආදිය පිළිබඳව අන්තර්ගත බව ය.
එවැනි පසුබිමක පාසලක් තුළ අවම වශයෙන් සෑම ජාතිකයට ම අයත් එක් අයෙකු හෝ සිටී නම් ඔවුන් යොදා ගනිමින් දරුවන්ට ප්‍රයෝගික දැනුම ලබා දීමට ඉඩකඩ ලැබෙන බව ඇය පැවසුවා ය. ඇතැම් පාසල් තුළ එවැනි විවිධත්වයක් ඇති බව ද ඇය සඳහන් කළා ය.
“ඒ ළමයින්ටත් ආසාවක් ඇති වෙනවා නේ. එතකොට ඒ ළමයි හරි ඔක්කොම එකට ඉන්න බලාවි.”
සංස්කෘතික වශයෙන් සංමිශ්ර වී සිටීම සමාජ ප්රගමනයට උර දෙන බව ඇයගේ අදහසයි.
‘ඇඳුමක් නිසා වෙනස් කොට සැලකීමේ ආදර්ශය ළමයින්ට නේ දෙන්නේ’
අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානියා අබායා ඇඳුම සම්බන්ධයෙන් මතු කළ ඇතැම් ප්රශ්නවලදී තම මිතුරිය දැඩි ලෙස අපහසුතාවට පත් වුණු ආකාරය පිළිබඳව ද ෆාතිමා බීබීසී සිංහල සේවය හා පැවසුවේ දැඩි කණගාටුවෙනි.
ඇය පෙන්වා දුන්නේ, පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ කාලයේ ඇති වූ ගැටලුවලට සාපේක්ෂව මේ වන විට සමාජය තුළින් තමන්ට එතරම් ගැටලු ඇති නොවන බව ය.
යම් හෙයකින් තමා අබායා ඇඳුම හෝ හිස ආවරණය කර ගන්නා ඇඳුමකින් සැරසී වැඩි වශයෙන් සිංහල ජනතාවක් වෙසෙන ප්‍රදේශයක පාසලක් වෙත අනුයුක්ත කළහොත් එහිදී තමන්ට ප්‍රශ්නවලට මුහුණ දීමේ හැකියාවක් ඇති බව ද ඇය පැවසීය.
“ඒත් ඒ මිනිස්සු මට මෙහේ මිනිස්සුන්ට වඩා හොඳින් සලකන්නත් පුළුවන්. ඒ දෙපැත්ත ම තියෙනවා. ඒ උණාට හිතේ චකිතෙන් තමයි යන්න වෙන්නේ. ඒ ගියාට පස්සේ එයාලත් එක්ක එකතු වෙලා පරිසරය හදා ගන්න එක මගේ වැඩක්,” ඇය තම අදහසට ඌණපූරණයක් එක් කළා ය.
ෆාතිමා වැඩිදුරටත් සඳහන් කළේ, “[ඇඳුමක් නිසා වෙනස් කොට සැලකීමේ] ආදර්ශය ළමයින්ට නේ දෙන්නේ. එතකොට ළමයිත් ඒ විදිහට ම නේ හිතන්නේ. ඊට වඩා මිශ්‍ර සංස්කෘතියක් එක්ක පාසල ඇතුළෙත් යන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා.”
‘ජාතිකත්වය පදනම් කරගෙන ගුරුවරුන්ට හෝ විදුහල්පතිවරුන්ට පාසල් තෝරා ගන්න දීම වැරදියි’
ගුරු – විදුහල්පති ගැටලු වෙනුවෙන් ද පෙනී සිටින ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් අමිල සඳරුවන් බීබීසී සිංහල සේවය හා පැවසුවේ, තම පෞද්ගලික අදහස “ජාතිකත්වය පදනම් කරගෙන ගුරුවරුන්ට හෝ විදුහල්පතිවරුන්ට පාසල් තෝරා ගන්න දීම වැරදි,” බව ය.
ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සහ ආගම් මත පාසල් බෙදීමෙන් සංහිඳියාව රජයන රටක් කරා ගමන් කරන්නේ කෙසේ ද? යන්න ඔහු ප්‍රශ්න කළේ ය.
“එහෙම බෙදිලා අපි කවද ද හැම කෙනෙකුට ම ගරු කරන, ඒ මිනිස්සු දරා ගන්න, සංහිඳියාව තියෙන රටක් හදන්නේ?”
ඔහු පෙන්වා දුන්නේ, “විශේෂ අපහසුතාවක්” ඇති නොවන අවස්ථාවලදී ජාතිය මත පදනම්ව විදුහල්පතිවරුන් හෝ ගුරුවරුන් පාසල් වෙත අනුයුක්ත කිරීමට තමන් විරුද්ධ බව ය.
“මම යම් ආගමක, ජාතියක වීම නිසා මම අපහසුතාවට පත් වෙනවා නම් මාව එතනට දාන එකේ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපිට මේක ගොඩ දාන්න ඕනේ නම්, රට සංහිඳියාවක් තියෙන තැනකට ගේන්න ඕනේ නම්, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වෙලාවත්, ආගමික විධියටවත්, ජාතීන් විධියටවත් නැතිව හැමෝම සාමාන්‍ය මනුස්සයෝ කියලා සලකලා අපිට බඳවා ගැනීම් කරන්න පුළුවන් නම් ඒක වැදගත්.”
සංස්කෘතීන් මිශ්‍ර වීම වැදගත් බව ඔහු අවධාරණය කළේ ය.
“මුස්ලිම් සංස්කෘතිය ගැන මම දන්නේ නැති වුණා ම මට හැමදා ම මුස්ලිම් සංස්කෘතිය බිල්ලෙක්. සිංහල සංස්කෘතිය ඇතුළේ මුස්ලිම් මනුස්සයෙකුට ජීවත් වෙන්න බැරි වුණා ම මුස්ලිම් මනුස්සයට සිංහල සංස්කෘතිය බිල්ලෙක්. එතකොට අපි නොදන්නා දෙයක් ගැන හැමදා ම බිල්ලෙක් හදනවනේ. අපි ඕක ඇතුළට ගියොත් අපිට තේරෙනවා මුස්ලිම් සමාජය ඇතුළේ සහෝදරත්වය තියෙනවා කියලා. දෙමළ සමාජය ඇතුළට කියා ම ඒ සහෝදරත්වය අපිට තියෙනවා.”
ඔහු පෙන්වා දුන්නේ, සෑම මනුස්සයෙකු ම සමාන බව ත් ඒ හැම කෙනෙකුට ම මෙම පද්ධතිය තුළ සමානව රාජකාරි කිරීමේ අවස්ථාව තිබිය යුතු බව ත් ය.
“අපි පාසල් පද්ධතියට ඇවිල්ලා ළමයින්ගේ ඔළු හැදුවොත් තමයි හෙට පරම්පරාව මේ විභේදනය නැතිව හැමෝම සාමාන්‍ය මිනිස්සු කියලා තේරුම් ගන්නේ. පාසල් පද්ධතිය ඇතුළෙත් අපි එක විශේෂීකරණය කළොත් වෙන්නේ පාසලෙන් එළියට එන ළමයා අපි හැමෝම සාමාන්‍ය මිනිස්සු කියන එක පිළිගන්නේ නැහැ,” ඔහු බීබීසී සිංහල සේවය සමග වැඩිදුරටත් පැවසීය.
‘එක වර්ගයක හෝ එක හැඩයක දෙයක් විතරක් බලාපොරොත්තු වෙනවා නම් එතන තියෙන්නේ ගෝත්‍රික සංකල්පයක්’
කුඩා කල සිට ම මිශ්‍ර සංස්කෘතික පරිසරයක හැදී වැඩුණු, ඉස්ලාමීය පවුල් පසුබිමකට උරුමකම් කියූ, මෙරට ප්රමුඛ පෙළේ බෞද්ධ පාසලක ද්විතීයික අධ්‍යාපනය ලැබූ, එහිදී විෂයයක් ලෙස බෞද්ධ ධර්මය හැදෑරූ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය හදාරා පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ ද සිංහල භාෂාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හැදෑරූ, සිංහල බස පෝෂණය කිරීමෙහි ලා කැපවුණු, සිංහල බසින් ගීත 700කට ආසන්න සංඛ්‍යාවක් ලියූ ප්‍රවීණ ගේය පද රචකයෙකු සහ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන නිලාර් එන්. කාසිම් ද බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වීය.
ඔහු පෙන්වා දුන්නේ, සංමිශ්රනය තුළ ගැබ්ව ඇත්තේ විවිධත්වය බව ය. විවිධත්වය යනු, පොදු කාරණයක් බව ත්, ස්වභාවධර්මයට අනුගතව මිනිසුන් ලෙස අපට එය පිළිගැනීමට සිදුවන බව ත් ඔහු සඳහන් කළේ ය.
“ශ්‍රී ලංකාව තුළ සහශ්රයකට එහා ගිය අතීතයක ඉඳලා මේ සංමිශ්රනය කියන එක තිබ්බ දෙයක්. ඒක ස්වභාවිකව තිබුණු දෙයක්. ඒ නිසා ඒ තියෙන යථාර්ථයන්ට පටහැනිව ජීවත් වෙන්න බැහැ. ඉන් පටහැනිව අපි එක වර්ගයක හෝ එක හැඩයක දෙයක් විතරක් බලාපොරොත්තු වෙනවා නම් එතන තියෙන්නේ කිසියම් විධියක ගෝත්‍රික සංකල්පයක්.
ජනතාව අතර ඇති විවිධත්වය, සංස්කෘතීන් අතර ඇති විවිධත්වය, ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් සහ ඔවුන්ගේ ඇදහීම් අතර ඇති විවිධත්වය පිළිනොගන්නේ නම්, ශ්‍රී ලාංකිකයින්ට ගෝත්රවාදී ජන කොට්ඨාසයක් බවට පත් වී ලෝකයෙන් කොන් වීමට සිදුවන බව ඔහු පෙන්වා දුන්නේ ය.
ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාව යනු මානව අයිතිවාසිකම් ප්රඥප්තිය ආරක්ෂා කිරීමට බැඳී සිටින රටක් බව ය. එවැනි රටක් තුළ අප එකිනෙකාගේ අනන්‍යතාවට ගරු කිරීමට ද බැඳී සිටින බව ඔහුගේ මතය විය.
“අපිට කෙනෙක් ඇඳුම නිසා කොන් කරන්න සිද්ධ වෙනවා නම්, ඒ තුළ තියෙන්න අපට බොහෝ ම පිළිගත නොහැකි, සදාචාර සම්පන්න නොවන ගෝත්‍රික තත්ත්වයක්. ඒ නිසා ඕනෑ ම කෙනෙකුට තමන්ගේ සංස්කෘතියට, තමන්ගේ හැදියාවන්ට අනුකූල ඇඳුමක් ඇඳීමේ අයිතිවාසිකම තියෙනවා.”
අනෙකාගේ සංස්කෘතික චාරිත වාරිත්‍රවලට ගරු කරන තැනකට අප අපව ඔසවා තැබිය යුතු යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
බලධාරීන්ගේ ප්‍රතිචාරය
ෆාතිමාගේ අත්දැකීම සහ විදුල්පතිවරුන් සහ විදුහල්පතිනියන් සම්බන්ධයෙන් විශේෂ වූ ඇඳුමක් චක්‍රලේඛයක් මගින් හෝ නියම කර ඇති ද යන්න පිළිබඳව දැන ගැනීම සඳහා බීබීසී සිංහල සේවය, දුරකතනය ඔස්සේ අධ්‍යාපන අමාත්‍ය නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත කිහිප වරක් ම සම්බන්ධ කර ගැනීමට උත්සහ දැරුව ද එය ව්‍යර්ථ විය.
එමෙන් ම, එම අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කරන වසන්තා පෙරේරා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට ගත් උත්සහය ද ව්‍යර්ථ විය.
කෙසේ වෙතත්, එවැනි නිශ්චිත ඇඳුමක් නියම කර ඇතැයි ද යන්න පිළිබඳව අප කළ සොයා බැලීමකදී, එවැනි චක්‍රලේඛයක් නිකුත් කර නොමැති බවට දැන ගැනීමට හැකි විය.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්නගෙන් ද විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ පාසල් සම්බන්ධ ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් බව ය.
එසේ වුව ද, රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් එම අමාත්‍යංශය අවස්ථා කිහිපයකදී ම චක්‍රලේඛ නිකුත් කර තිබේ.
රජයේ නිලධාරින්ගේ ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් 2022 වසරේ නිකුත් කරන ලද චක්‍රලේඛය පාසල් ගුරුවරියන් සම්බන්ධයෙන් ද අදාළ කර ගැනීම සඳහා ලංකා ගුරු සංගමය විසින් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා වෙත එම වසරේ ම ඔක්තෝබර් මස 31 වන දා ලිපියක් යොමු කරනු ලැබ තිබිණි.
පවතින ආර්ථික පීඩා සහ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදී අධික පිරිවැයක් දැරීමට සිදුවීම ඊට හේතු ලෙස ඔවුන් සිය ලිපිය මගින් පෙන්වා දී තිබිණි.
කෙසේ වෙතත්, එම ඉල්ලීම සඳහා මහා සංඝරත්නය විරෝධය පළ කර තිබුණේ, පාසල් ගුරුවරුන්ට පහසු ඇඳුමකින් සැරසී පැමිණීමට ඉඩ ලබා දීම මෙරට සංස්කෘතියට නොගැලපෙන බව පවසමිනි.
එම වසරේ ම නොවැම්බර් මස 4 වන දා අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ නිවේදනයක අධ්‍යාපන අමාත්‍ය නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත සුසිල් ප්‍රේමජයන්ත උපුටා දක්වමින් සඳහන් කර තිබුණේ, අධ්‍යාපන අමාත්‍යංශය ගුරුවරුන්ගේ ඇඳුමේ කිසිදු වෙනසක් නොකරන බව ය.
(BBC සිංහල සේවය)