ඇත්තටම NGO කියන්නේ මොකක්ද?
මානවහිමිකම් වගේම ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් පිලිබඳව කටයුතුකරන සංවිධාන වලට පසුගියකාලයේ දිගින් දිගටම තදබල විවේචනයන් එල්ල වුනා. එන්ජීඕ කාරයන් ඩොලර් කාක්කො දේශද්‍රොහීන් රට ජාත්‍යයන්තරයට පාවාදෙන්නන් වගේ ඉතා බරපතල චෝදනා තමයි එල්ල වුනේ. මේ තත්වය විග්‍රහ කරගැනීම තමයි මේ සාකච්ඡාවේ අරමුන.
ඇත්තටම මේ කියන එන් ජී ඔ කියන්නේ මොනවාද ?
ඇත්තටම එන් ජී ඕ කියන නමින් හඳුන්වන්නේ රාජ්‍යය නොවන සංවිධාන කියන ඉංග්‍රීසි නාමයේ කෙටි නාමය. Non-Government Organization කියන නම කෙටි කරල තමයි මේ එන් ජී ඕ කියන නාමය හැදිල තියෙන්නේ. මෙතනදී වැදගත් දෙයක් තමයි මොනවද මේ රාජ්‍යය නොවන සංවිධාන කියල කියන්නේ කියල හඳුනාගැනීම.
රජයට සම්බන්ධ නැතිව ජනතාව විසින් සංවිධානය කරල එහෙමත් නැතිනම් සමාජයේ කන්ඩායමක් විසින් සංවිධානය කරල ක්‍රියාත්මක වන සංවිධාන රාජ්‍යය නොවන සංවිධාන විදිහට දක්වන් පුලුවන්. ගමක මරනාධාර සමිතියක් එහෙමත් නැතිනම් සුභසාධන සමිතියක් රාජ්‍යය නොවන සංවිධානයක් ලෙසට දක්වන්න පුලුවන්.
හැබැයි මේ ඔබකියන සංවිධාන වලට මේ වගේ විරෝධයක් සමාජය තුලින් හෝ රජය මගින් එල්ල වෙනවද ?
ඇත්තටම ගමක මරනාධාර සමිතියක් එහෙමත් නැතිනම් සුභසාධන සමිතියකට මේ ප්‍රතිරෝධය එල්ල වෙන්නේ නැහැ. මේ වගේ ප්‍රතිරෝධයක් එල්ලවන්නේ මානව හිමිකම් හෝ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් පිලිබඳව කටයුතු කරන සංවිධාන වලට පමනයි. කෙටියෙන් කියනවනම් අයිතිවාසිකමි සම්බන්ධයෙන් දේශීයව හෝ ජාත්‍යයන්තර මට්ටමින් වැඩකරන සංවිධාන වලට පමනයි මේ පීඩනය එල්ලවෙන්නේ.
ඇයි මානව හිමිකම් හා ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් පිලිබඳව කටයුතු කරන සංවිධාන වලට මේ වගෙ ප්‍රතිරෝධයක් එල්ලවෙන්නේ ?
ඒක ඉතාමත් පැහැදිලි කාරනයක් මොකද මානව හිමිකම් සහ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේ රජය රජයට සම්බන්ධ මැති ඇමතිවරුන් රජයේ නිලධාරීන් සහ අනෙක් අතට ප්‍රාග්ධනය හිමි ධනපති පංතිය. ලංකාව වගේ රටවල පොදු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන සිවිල් පුරවැසි සංවිධාන ඉතාමත් අඩුයි. තිබුනා වුනත් ක්‍රියාත්මක වෙන්න අවශ්‍යය තාක්ෂනික සහ වෘතිමය කුසලතාවය වගේම මුදල් මේ සංවිධාන වලට නෑ. මෙම නිසා මේ අයගේ කටයුතු වලට අභියෝග කරන්න ඉදිරිපත් වෙන්නේ දැනට ශ්‍රී ලංකාව වගේ රටවල සංවිධානය වෙලා පවත්වාගෙන යන මේ කියන ආකාරයේ එන් ජී ඕ කියන සංවිධාන. එය ඔවුන්ගේ හැසිරීම අභියෝගයට ලක්කිරීමක් නිසා අනිවාර්යයෙන්ම මේ සංවිධාන වලට එරෙහිව මර්ධනයක් වගේම චෝදනා එල්ලකරල දුර්මුඛ කිරීමක් සිදුවෙනවා.
මේ සංවිධාන වලට එල්ලවන ප්‍රධාන චෝදනාවක් තමයි පිටරටවලින් ඩොලර් අරගෙන ක්‍රියාත්මක වෙනව කියන එක. අනෙක් අතට මේ සංවිධාන වල ක්‍රියාකාරීත්වය නිසා රට අපකීර්තියට පත් වෙනව කියන එක ඒ පිලිබඳව පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?
අපි කවුරුත් දන්නවා සමාජයේ ක්‍රියාත්මක වන විට යම්කිසි වියදමක් දරන්න වෙනවා. ඒ සඳහා අරමුදල් අවශ්‍යය වෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ වුනත් පොදු වැඩවලට අරමුදල් සමාජය තුලින් සපයා ගන්න පුලුවන්. උදාහරන විදිහට පිනක් එකතුකරගන්න ආගමික ස්ථාන ගොඩනගන්න අසරන සරන වැඩපිලිවෙල වලට ආධාර උපකාර කරන්න බොහෝ අය එකතු වෙනවා. නමුත් සමාජයේ මානව හිමිකම් හෝ ප්‍රජාතන්ත්‍රික අයිතිවාසිකම් ආරකෂා කරන්න අරමුදලක් ආරම්භ කලොත් කීයෙන් කී දෙනාද එයට ආධාර කරන්නේ.
මේ හේතුව නිසා ශ්‍රී ලංකාව වගේ රටක ක්‍රියාත්මක වන මානව හිමිකම් පිලිබඳ කටයුතු කරන සංවිධාන වලට බොහෝ විට අරමුදල් සපයන්නේ බටහිර පවතින මුල්‍යය ප්‍රධාන ආයතන වලින් එහෙමත් නැතිනම් බටහිර දියුනු රටවලින් ලැබෙන මූල්‍යය ප්‍රදානයන් මත.
ඇයි බටහිර දියුනු රටවල් මේ වගේ රටවලට මුදල් ප්‍රධානය කරන්නනේ ? මේක ඇතුලේ දේශපාලන අරමුනක් නැතිද ?
ඇත්තටම මේක ඇතුලේ දේශපාලන අරමුනක් තියනව. නැත්තේ නැහැ. උදාහරනයක් විධිහට තුන්වන ලෝකයේ දියුනුවෙමින් පවතින රටවල් තමයි මේ දියුනු රටවල කර්මාන්ත වලට අවශ්‍යය අමද්‍රව්‍යය සපයන්නේ. මේ රටවල දූෂනය ඉහවහාගිහිල්ල තියනවානම් ඒ අයගේ ව්‍යාපාරය මේ රටවල් වල කරගෙන යන්න අපහසුයි. යම් මට්ටමේ සාමයක් ස්ථාවර පාලනයක් නොතිබුනෝතින් ඔවුන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න මේ රටවල් වලදී අමාරු වෙනවා.
ඒ වගේම දියුනු රටවල නිෂ්පාදන අලෙවිකරන වෙලඳපල මේ කියන තුන්වන ලෝකයේ රටවල්. මේ රටවල යම් ප්‍රමානයක සාමය නැතිනම් යහපාලන මූලධර්ම භාවිතා කරන්නේ නැතිනම් මේ ව්‍යාපාරය කරගෙන යන්න අමාරු වෙනවා. මෙම නිසා යම් ප්‍රමානයක සාමයක් නීතියේ ආධිපත්‍යයක් පවත්වාගෙන යන්න මේ රටවල් උත්සාහ කරනවා.
ඊලඟ වැදගත් කාරනය තමයි මේ රටවල ආර්ථිකය නීතියේ ආධිපත්‍යය නීතියේ පාලනය බිඳවැටුනහම දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවෙනවා. දේශපාලන කැරලි කෝලාහල ඇතිවෙනවා. සමහර විට සිවිල් යුද්ධ පවා ඇතිවෙනවා. මෙහි ප්‍රතිඵලයක් තමයි සාමාන්‍යය ජනතාව මේ තත්වයෙන් මිදිල සාධාරන පාලනයක් තියෙන රටවල් වලට පැනල යන එක. සරනාගතයන් විදිහට. ඔබ දන්නව ඇති මේ සරනාගතයන් බොහෝ විට පැනල යන්නෙ බටහිර රට වලට. නැතිනම් ඕස්ට්‍රේලියාව නවසිලන්තය වගේ රටවල් වලට. කවුරුත් චීනය කියුබාව වගේ රටවලට සරනාගතයන් විදිහට පැනල යන්නේ නැහැ. ආර්ථිකමය වශයෙන් සමුර්ධිමත් වුනත් කවුරුවත් ඩුබායි වලට පැනල ගිහිල්ල සරනාගතයන් විදිහට ජීවත් වෙන්න කල්පනා කරන්නේ නැහැ. යම් ප්‍රජාතාන්ත්‍රික අවකාශයක් තියෙන රටවලට තමයි පැනල ගිහිල්ල ජීවත් වෙන්න කල්පනා කරන්නේ.
උදාහරනයක් විදිහට කිලොමීටර් 2500 ක් විතර ට්‍රෝලර් බෝට්ටුවකින් ගිහිල්ල ඕස්ටේ්‍රලියාවට ඇතුල් වෙන්න උත්සාහ දරන ශ්‍රී ලාංකිකයෝ කීදෙනෙක් ඉන්නවද? ඉතාලියට ට්‍රෝලර් බෝට්ටුවකින් ගිහිල්ල ඇතුල්වෙන්න ජීවිත අවදානම ගන්න කී දෙනෙක් ඉන්නවද? මෙම නිසා තමයි බොහෝ විට අයිතිවාසිකම් ප්‍රවර්ධනය කරන්න මේ රටවල් තමන්ගේ පෞද්ගලික ධනයෙන් යම් ප්‍රමානයක් තුන්වන ලෝකයේ රටවල්වල ආයෝජනය කරන්නේ.
හරි ඔබ කියන විදිහට මෙය ඇතුලේ දේශපාලනයක් තියනව එම නිසා රජය මාණව හිමිකම් සංවිධානයන් මර්ධනය කිරීම නිවැරදියි නේද ?
මෙන්න මෙතන තමයි අපිට රටක් විදිහටත් ජාතියක් විදිහටත් වැරදුන තැන. මේ එන මුදල් භාවිතා කරල රජය, එහෙමත් නැතිනම් ආණ්ඩුව, අස්ථාවර කරන්න එහෙමත් නැතිනම් සංස්කෘථියට සදාචාරයට බලපෑමක් කරන්න උත්සාහ ගන්නවනම් එවැනි ක්‍රියාකාරකම් මැඩපවත්වන්න පවතින නීතිය යටතේ ඕනෑතරම් නීත්‍යානූකූල ඉඩකඩක් රජයකට තියනව. නමුත් මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ව්‍යාපාරය මැඩපැවැත්වීම සම්පූර්නයෙන්ම වැරදි වැඩක්.
අපි දන්නව මුදල් විශුද්ධිකරන පනත රාජ්‍යය නොවන කාර්යාල පිලිබඳ පනත වගේ නීති දැනටමත් පවතිනවා. නමුත් අපි දැකල නැහැ මේ කාලසීමාව තුල කිසිම පුද්ගලයෙකුට පිටරටින් සල්ලි ගෙනහල්ල වැරදි වැඩ කරනව කියල නඩු පවරල තියනවා. එහෙම තියෙනවනම් රජයේ වගකීම තමයි මේ පුද්ගලයන්ට විරුද්ධව පරීක්ෂන පවත්වලා නීතීයට අනුව නඩු පවරල දඬුවම් ලබා දෙන එක.
එහෙම නැතිව මානව හිමිකම් පිලිබඳ කථා කරන සියලුම ආයතන පුද්ගලයන් මර්ධනය කරන එක සම්පූර්නයෙන්ම වැරදි වැඩක්. ඒක ඇතුලේ තියෙන්නේ දේශපාලනික කපටිකමක්. දේශපාලනිකව තමන් කරන වැරදි හෙලිදරව් කරන එක වැලැක්වීමට එවැනි සංවිධාන සහ පුද්ගලයන් මර්ධනය කිරීම තමයි එතැනදී සිද්ධවෙන්නේ.
බටහිර රටවල් මේ වගේ එන් ජී ඕ වලට සල්ලි දීලා මානව හිමිකම් ගැන කථාකරමින් තුන්වන ලෝකයේ රටවල රාජ්‍යය පාලනයට ඇඟිලිගහනව නේද?
අපි පිලිගන්න ඕනී දෙයක් තමයි දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යයන්තර සංවිධාන හරහා ලෝකයේ රටවල් එකිනෙකා සමග සම්බන්ධ වන සම්බන්ධතා ජාලයකට රාජ්‍යයක් විදිහට ලංකාව සම්බන්ධ වෙලා ඉන්නව කියන එක. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලේ බලවත් රාජ්‍යයන් ඉන්නවා. ලංකාවට ඒ හා සමාන තත්වයක් නෑ කියන එකත් අපි පිලිගන්න ඕනී. ලෝක දේශපාලන තුලදී රාජ්‍යය පාලනයට ඇඟිලි ගහන්නේ මානව හිමිකම් සංවිධාන වලට සල්ලී දීමෙන් විතරද ?
දැන් ඉන්දියාව මාණව හිමිකම් සංවිධාන වලට සල්ලි දෙන්නේ නැහැනේ නමුත් ලංකාවට ගුවනින් පරිප්පු දැම්ම එක දේශපාලන ඇඟිලි ගැසීමක් නෙවෙයිද ? ඉන්දියානු සාමසාධක හමුදාව එව්ව එක දේශපාලන ඇඟිලි ගැසීමක් නෙවෙයිද ? චීනය ලංකාවට ණය දීලා ඒවාට හිලව්වෙන්න හම්බන්තොට වරාය බදු ගත්ත එක දේශපාලන මැදිහත් වීමක් නෙවෙයිද ඉන්දියාව ත්‍රීකුනාමලයේ තෙල් ටැංකි ටික බදුගත්ත එක දේශපාලන මැදිහත් වීමක් නැතිද ? කොලඹ වරායේ නැගෙනහිර කන්ටේනර් පර්යන්තය පිලිබඳ ප්‍රශ්නය ඇතුලේ දේශපාලන මැදිහත් වීමක් නැතිද?
රටක පුද්ගලයන් අතුරුදහන් වෙන්නේ නැතිනම්, කෘර අමානුෂිකවධහිංසාවන් රාජ්‍යය මගින් තමන්ගේ රටේ පුද්ගලයන්ට සිදුකරන්නේ නැතිනම්, රාජ්‍යය මගින් පුරවැසියාට බීමට සුදුසු ජල සැපයුමක්, යහපත් නිවාස, ප්‍රමානවත් තරමේ සෞඛ්‍යය ආරක්ෂාවක්, සහිතව අවම ජීවන තත්වයක් සහතික කරල තියනවානම් එම තත්වයේ වාසිය යුරෝපයේ රටකටද යන්නේ නැතිනම් ඒ රටේ පුරවැසියාටද ?
අපි මෙහෙම බලමු අපේ රටේ නිදහස් සාධාරණ මැතිවරණ පවත්වනවානම්, රටේ පුරවැසියාට නීතියේ ආරක්ෂාව පවතිනවානම් අධිකරණ පද්ධතිය ස්වාධීනව පවතිනවානම්, විනිසුරුවරුන් දූෂනයෙන් තොරනම් රාජ්‍යය නිලධාරීන් නීත්‍යානුකූල ලෙස කටයුතු කරනවානම් ප්‍රමානවත් මට්ටමේ අධ්‍යාපනයක් සියලු පුරවැසියන්ට සහතික කරල තියෙනවානම්, පරිසරය ආරක්ෂා කරනවානම් ඒ තත්වයේ වාසිය ලැබෙන්නේ යුරෝපයේ හෝ වෙනත් කොහේහරි තියන රටකද එහෙමත් නැතිනම් අපේ රටේ ජීවත් වෙන පුරවැසියාටද ?
මේ තත්වය නිසි ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් ඒ තත්වය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාකඡ්චාවට භාජනය වීම රටේ ස්වාධිපත්‍යයට ඒකීය භාවයට ආගමට සදාචාරයට හානියක් කියල කියන්න පුලුවන් වෙන්නේ මානව හිමිකම් කඩකරන පුද්ගලයන්ට සහ ඔවුන්ගේ හෙංචයියලාට විතරයි.
හරි අපි මෙහෙම බලමු මේ බටහිර රටවල් නේද බොහෝ දියුනුවෙමින් පවතින රටවල මානව හිමිකම් කඩකිරීමට මුල් වෙන්නේ ?
ඔව් බොහෝ සංවර්ධිත රටවල් තුන්වන ලෝකයේ රටවල විවිධ ප්‍රශ්න මතුකරනවා තමන්ගේ ආර්ථික දේශපාලන උවමනා එපාකම් මත. නමුත් අපිට කියන්න පුලුවන්ද පුරවැසියන් විදිහට ඔවුන් ඒ විදිහට ක්‍රියාකරන නිසා නිදහස් සාධාරණ මැතිවරණයක් තියන්න එපා නීතියේ ආරක්ෂාව අවශ්‍යනැහැ අධිකරණ පද්ධතිය ස්වාධීනව වෙන්න ඕනී නැහැ, විනිසුරුවරුන් දූෂිත වුනාට කමක් නැහැ රාජ්‍යය නිලධාරීන් නීත්‍යානුකූල ලෙස කටයුතු කරන්න අවශ්‍යය නැහැ ප්‍රමානවත් මට්ටමේ අධ්‍යාපනයක් සියලු පුරවැසියන්ට සහතික කරන්න අවශ්‍යය නැහැ, පරිසරය ආරක්ෂා කරන්න අවශ්‍යය නැහැ කියල ?
හරි ඔබ කියන විදිහට තුන්වන ලෝකයේ රටවල යම්කිසි ස්ථාවර භාවයක් තබා ගන්න තමයි මේ සංවර්ධිත රටවල් ආධාර දෙන්නේ කියල විශ්වාස කරමු . ඇයි රාජ්‍යය නොවන සංවිධාන වලටම ආධාර දෙන්නේ ඇයි සෘජුවම ආණ්ඩුවට ආධාර දෙන්න බැරි?
මේ සංවර්ධන ආධාර දෙන මුල් වකවානුවේ මූලිකවම රජයට තමයි ආධාර දුන්නේ. අපි උදාහරනයක් විදිහට ගත්තොත් වික්ටෝරියා ජලාශය රන්ටැඹේ ජලාශය කොත්මලේ ජලාශය රන්දෙනිගල ජලාශය පොල්ගොල්ල වගේ සංවර්ධන ව්‍යාපෘථී සඳහා යුරෝපියානු රටවල් වන බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය වගේ රටවල් දුන්නේ ණය ආධාර නෙවෙයි. මූල්‍යය ප්‍රධානයන්. නමුත් පසුකාලීනව ප්‍රවනතාවයක් ඇතිවුනා සංවර්ධන ආධාර දුන්නට රාජ්‍යය තුල නීතියේ පාලනයක් නැතිනම් යහපාලනයක් නොමැතිනම් මේ ආධාර වුනත් නිසිලෙස ආයෝජනය වෙන්නේ නැහැ රාජ්‍යය නිලධාරීන් සහ දේශපාලකයන් විසින් වංචා කරනව කියල.
අපි අපේ සමාජය දිහාවට හැරිල බලනකොට රාජ්‍යය නිලධාරීන් විසින් සහ දේශපාලකයන් විසින් මහජන මුදල් වංචා කිරීම් සහ නාස්තිකිරීම් පිලිබඳව චෝදනා වට ලක්වීම් කොතරම් ප්‍රමානයක් තිබෙනවාද ? මම කිහිපයක් මතක්කරන්නම් ග්‍රීසියේ බැඳුම්කරවල සමෘර්ධි සංවර්ධන මුදල් ආයෝජනය කිරීම දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව තුල සිදුවුනු වැට් බදු වංචාව මිග් ගුවන්යානා මිලයට ගැනීම පිලිබඳ වංචාව ෂෙල් සමාගම විකිනීමේදී සිදුවුනායයි කියන වංචාව දක්ෂින අධිවේගී මාර්ගයේ සිදුවූ වංචාව මහබැංකුවේ බැඳුම්කර වංචාව සුදු `ඵෑනු බදු වංචාව සීනිබදු වංචාව මේ වගේ අතිවිශාල මාතෘකා සංඛ්‍යාවක් මට මතක්කරන්න පුලුවන්.
මේ නිසා අන්තර් ජාතිකව තීරනය කලා සංවර්ධනයට සාපේක්ෂව රාජ්‍යය තුල මානව හිමිකම් සුරැකීමේ යාන්ත්‍රනය ශක්තිමත් කරන්න ඕනී කියල. මෙම නිසා දැන් 2 : 1 අනුපාතයෙන් තමයි රාජ්‍යයකට ආධාර බටහිර රාජ්‍යයන් ලබා දෙන්නේ. රාජ්‍යයට දෙන ආධාර මුදල 2 ක් නම් එයට සාපේක්ෂව එයට අනූකූලව 1 ප්‍රමානයක් රාජ්‍යයේ ක්‍රියාත්මක වන සිවිල් සංවිධාන වලට ලබා දෙනවා සංවර්ධන කටයුතු වලට සහ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න.
අනෙක් අතට සමහර කුඩා පරිමාන සංවර්ධන ව්‍යාපෘථි රජයට භාරදීමට වැඩිය සිවිල් සංවිධානයක් මාර්ගයෙන් ක්‍රියාත්මක කිරීම ප්‍රතිඵල දායකයි. උදාහරනයක් විදිහට වැසිකිලි නැති අයට වැසිකිලි සාදාදීමට අන්තර්ජාතික සංවර්ධන ආධාරයක් දෙනවායයි සිතමු. මේ ආධාරය ලැබෙන්න ඕනී වැසිකිලි නැති අයට. නමුත් රජය මැදිහත් වුනාට පසු ලංකාව වගේ රටවල සිදුවන්නේ දේශපාලඥයන්ගේ හිතවතුන්ට නැතිනම් දේශපාලන ආධාරකරුවන්ට මේ ආධාරය බෙදල දෙන එක. එයින් අපේක්ෂිත අරමුන ඉටුවෙන්නේ නැහැ.
නමුත් මේ සංවිධාන වල පැවැත්ම ක්‍රියාකාරකම් රාජ්‍යයේ පැවැත්මට හානිකරයි නේද ? සමහර සංවිධාන විසින් ත්‍රස්තවාදය සඳහා ආධාර අනුබල දෙන්න ඉඩකඩක් මේ තුල තියෙනව නේද ?
ඕනෑම ක්‍රියාවලියක් තුල අවධානමක් තියෙනවා. දැන් පාස්කු ප්‍රහාරය බලන්න එහිදී චෝදනාව එල්ල වුනේ මහා පරිමාන ව්‍යාපාරිකයෙකුට. ඔහුගේ ගිනුම් වලට විදේශ මුදල් ලැබිල තියෙනව කියල ජනමාධ්‍යය වාර්තා කලා. දැන් මේ තත්වයේ වරද කොතනද මම කියන්නේ රාජ්‍යය විසින් මේ ක්‍රියාකාරකම් නිරීක්ෂනය කරන්න ඕනී. රාජ්‍යයට බරපතල වගකීමක් තියනව නීතිය සහ සාමය ආරක්ෂා කරන්න. කවුද සල්ලි එවන්නෙ ඒවායෙන් මොනවාද කරන්නේ කියල හොයල බලන්න. ඒක හරියට සිද්ධ වෙන්නේ නැතිනම් මේ කටයුතු විමර්ශනය කරන්න ගොඩනගල තියෙන ආයතන පද්ධතියේ අසාර්ථක භාවය. එසේනම් වහාම එම ආයතන ප්‍රතිසංස්කරනය කරනව මිසක් සිවිල් සංවිධාන වහල දාන එක නෙමෙයි කාර්්‍යය වෙන්න ඕනී.
කිසිම වෙලාවක අපි කියන්නේ නැහැ රාජ්‍යයේ නිරීක්ෂන සංවිධාන (monitoring Organisms) අකර්මන්‍යය කරන්න ඕනී කියල. අපි කියන්නේ ඉතාමත් දියුනු විදිහට නීත්‍යානු කූලව ඒවා ගොඩනගන්න සහ දියුනු කරන්න කියල. පොලීසිය, අධිකරණ පද්ධතිය, අල්ලස් කොමිෂන් සභාව, නීතිමය ප්‍රතිසංස්කරන, අනිවාර්යයෙන් දියුනු කිරීම මෙහි පුමුඛතම අංගයක්. ඒ වගේම මේ සඳහන් කරපු ආයතන වල නිලධාරින්ගේ ක්‍රියාකාරීත්වය අධීක්ෂනය කිරීමට ශක්තිමත් යාන්ත්‍රනයක් ගොඩනැගීම සිදුවිය යුතුයි.
ඔබ මුලින් සඳහන් කලා වගේ අන්තර් ජාතික මානව හිමිකම් තලයේදි රාජ්‍යයට විවේචන එල්ලවෙන මූලික කාරනයක් තමයි වරද කරන නිලධාරීන්ට දඬුවම් ලබා නොදීම කියන එක. දන්ඩන විනිර්මුක්තිය එහෙමත් නැතිනම් ( Impunity) විදිහට හඳුන්වනවා. සාමාන්‍යයෙන් සමාජයෙන් විවේචන එල්ල කරන්නේ දේශපාලකයන්ට නමුත් අපි දන්නවා මේ රටේ දුෂන වලට සම්බන්ධයෙන් චෝදනා ලබන්නේ දේශපාලකයන් විතරක් නොවෙයි. රජයේ ඉහල නිලධාරින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් මේ සම්බන්ධයෙන් චෝදනා ලබනවා. නමුත් ඉතාමත් කලාතුරකින් තමයි මේ අය වරදකරුවන් වෙන්නේ. දඬුවම් ලබන්නේ. මේ තත්වය පිලිබඳ විවේචනය කිරීම සහ මෙම තත්වය වෙනස් කිරීමට රජයට බල කරන එක තමයි සිවිල් සංවිධාන වල කාර්ය භාරය. මේ කාර්යභාරය කරනකොට සිවිල් සංවිධාන වලට ඩොලර් කාක්කෝ විදේශ බලවේග වල පිල්ලි ජාත්‍යයන්තරයට කේලාම් කියන්නන් කියල ලේබල් කරනවානම් මම යෝජනා කරන්නේ ජනතාව නැවත සිතන්න ඕනී මෙම තත්වය වෙනස් වෙලා යහපත් දේශපාලන ආර්ථික සමාජිය වාතාවරනයක් ඇතිවීම සම්බන්ධයෙන් අකැමැති පුද්ගලයන් කවුද කියල. ඒ අය තමයි මේ තත්වය වෙනස් කිරීම පිලිබඳ කථාකරන රාජ්‍යය නොවන සංවිධාන පිලිබඳ විවේචනය ගොඩනගල ජනතාව තුල රාජ්‍යය නොවන සංවිධාන පිලිබඳව නරක ආකල්පයක් ගොඩනගන්න උත්සාහ ගන්නේ.
නීතීඥ සම්පත් පුෂ්පකුමාර.